SayHello

චිත්‍රපටි නරඹමින් ඉංග්‍රීසි ඉගෙන ගන්න : සම්පූර්ණ මඟ පෙන්වීමක්

0 Shares

ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න ඔයාගේ ප්‍රියතම ඉංග්‍රීසි චිත්‍රපට යොදා ගන්න පුළුවන් කියලා ඔයා දැන හිටියද? ඔයාලට චිත්‍රපට තුළින් ඉංග්‍රීසි මව් භාෂාව වන නළු නිළියන් ස්වාභාවික ආකාරයට ඉංග්‍රීසි බස හසුරවන ආකාරය දැනගන්න හැකියි. එමඟින් ඔයාට වර්තමාන ඉංග්‍රීසි බස ඉගෙන ගන්න ගමන් ඉංග්‍රීසි මව් භාෂාව වන පුද්ගලයන්ගේ කතා විලාසයට හුරු වෙන්නත් පුළුවන්.

වඩාත් හොඳ වචන උච්චාරණය
සමහර ඉංග්‍රීසි වචන උච්චාරණය කරන්නේ ලියන ආකාරයට වඩා හාත් පසින්ම වෙනස් විදිහකටයි. ඉංග්‍රීසි චිත්‍රපට නැරඹීමෙන් ඔයාට පුළුවන් වනවා මව් භාෂාව ඉංග්‍රීසි වන පුද්ගලයින් වචන උච්චාරණය කරන නිවැරදි ආකාරය ඉගෙන ගන්න. චිත්‍රපට වල අඩංගු සංවාද දෙබස් හරහා සබැඳි කතාවේදී වචන වල ශබ්ද වෙනස් වන ආකාරය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න.

සජීවී සම්බන්ධය
ඔයා වචනයක් ඉගෙන ගත්තත් ඒක මතක තියාගෙන ඉන්න එකපාරටම ටිකක් අපහසුයි වගේම මොන වගේ අවස්ථාවකදී ඒ වචන භාවිතා කළ හැකිද කියා අදහසක් ඔයාගේ හිතට එන්නේ නැහැ. චිත්‍රපට වලදී වචන භාවිතා කරන්නේ කතාවේම කොටසක් ලෙසට. මේ වාතාවරණය තුළ ඔයාට හැකි වනවා වඩා පහසුවෙන් වචන පිළිබඳ අවබෝධයක් ලබාගන්න සහ ඒවා භාවිතා කරන්න.

මේවා තමයි චිත්‍රපට වලින් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගනිද්දී මූලිකව ලැබෙන වාසි. මීට අමතරව රටින් රටට වෙනස් වන උච්චාරණ විදි සහ ප්‍රාදේශීය ව්‍යවහාර සහ උච්චාරණ විදි ගැනත් දැනගන්න පුළුවන්. තවත් දෙයක් තමයි ඔයාට විවධ රටවල සංස්කෘතිය සහ ජීවන රටාව ගැනත් දැනුම වැඩි කරගන්න පුළුවන්. මීළඟට අපි බලමු කොහොමද පියවරින් පියවර ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න චිත්‍රපට භාවිතා කරන්නේ කොහොමද කියලා.

1. රසවත් චිත්‍රපට පමණක් තෝරාගන්න

ඔව් ඔබට හිතුනා වගේම මේක අනිවාර්ය දෙයක් තමයි. කැමති නැති කම්මැලි චිත්‍රපටයක් තෝරාගත්තොත් ඔයා චිත්‍රපටයට අවධානය යොමු කරන්නේ නැති නිසා ඔයාට ඉංග්‍රීසි භාෂාවේ වචන භාවිතය ගැන අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔයාගේ පැය එක හමාරක වගේ කාලය නිකන් අපතේ යන එක විතරයි වෙන්නේ. ඔයාගේ රුචිකත්වයට ගැළපෙන හොඳ ඉංග්‍රීසි චිත්‍රපට IMDB වෙබ් අඩවිය තුළින් ඔයාට වැඩි විස්තරත් සහිතව හොයාගන්න පුළුවන්.

2. ඔයාගේ වර්තමාන ඉංග්‍රීසි දැනුමේ මට්ටමට ගැළපෙන චිත්‍රපට තෝරාගන්න

ඔයාගේ දැන් තියෙන ඉංග්‍රීසි දැනුමේ මට්ටමට හරියන චිත්‍රපටයක් තෝරාගත්තේ නැත්තම් ඔයාට චිත්‍රපටයේ කතා බහ කරන දේවල් තේරුම් ගන්න අපහසු වේවි. ඒ නිසා ඔයාගේ චිත්‍රපට වලින් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට දරන වෑයම අපතේ යෑමක් තමයි සිදු වන්නේ. ඔයා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න පටන් ගන්න ආධුනිකයෙක් නම් පරිගණක සජීවිකරණ චිත්‍රපට (Animation Movies) සහ ළමා චිත්‍රපට වලින් මේ කාර්යය ආරම්භ කරන්න. මේවායේ භාවිතා වන්නේ සරල සහ මිත්‍රශීලී ඉංග්‍රීසි. උදාහරණයක් ලෙස Toy Story චිත්‍රපටය දක්වන්න පුළුවන්.

3. චිත්‍රපටය නරඹන විට ශබ්ද කෝෂයක් ළඟ තබා ගන්න

ඔයාට පුළුවන් චිත්‍රපටය නරඹන වෙලාවට ඔයාගේ පරිගණකයේ, ස්මාර්ට් ෆෝන් එකේ හෝ පොඩි ශබ්ද කෝෂයක් ළඟ තබාගන්න. එවිට ඔයා නොදන්නා වචනයක් ඇහුණු විටම ඒක සටහන් කරගෙන එහි තේරුම දැනගන්න පුළුවන්. ඔයා චිත්‍රපටය උපසිරැසි සමඟ නම් නරඹන්නේ අළුත් වචන සටහන් කරගන්න එක වඩා පහසුයි. ඔයා වචනයක් ඉගෙන ගන්න දරන මේ වෑයම නිසා ඒ වචනය ලේසියෙන් අමතක වෙන එකක් නැහැ. පහත සඳහන් ලින්ක් වලින් ඔයාට පුළුවන් “Play Store” එකෙන් ශබ්ද කෝෂ ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්න.

ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂය –
https://play.google.com/store/apps/Hybrid-Dictionary-Sinhala-English
සිංහල-ඉංග්‍රීසි ශබ්ද කෝෂය –
https://play.google.com/store/apps/Oxford-Dictionary

4. චිත්‍රපටයේ අන්තර්ගතයෙන් 70% කට හෝ ඊට වැඩියෙන් තේරුම් ගැනීමට උත්සාහ කරන්න

චිත්‍රපට හරහා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් ඔයා තනි වචන වලට වඩා අර්ථය සමස්තයක් වශයෙන් තේරුම් ගැනීමට උත්සාහ කරන්න. ඔයාට වචන සහ වාක්‍ය කොටස් මඟ හැරුණොත් හරි නළු නිළියෙකුගේ උච්චාරණය තේරුණේ නැති වුණොත් හරි චිත්‍රපටය මඟ නවත්තලා (Pause) නැවත වාදනය (Rewind) කරලා බලන්න. හැබැයි මේක නිතරම කරන්න යන්නත් එපා. මොකද එතකොට චිත්‍රපටය රසවිඳීමට තියෙන හැකියාව හීන වෙලා යනවා. ඔයාට පුළුවන් තරමක් තනියෙම චිත්‍රපටය තේරුම් ගන්න උත්සාහ කරන්න.

5. ඔයාගේ කැමතිම දෙබස් නැවත නැවත කියන්න

ඔයා ගොඩක් කැමැති දෙබසක් ඇසුනොත් ඒක කොළයක සටහන් කරගෙන නැවත නැවත හඬ නඟා කියන්න. ඔයා හඬ නගා ඒ දෙබස් නැවත කියන තරමට ඔයාට ඒවා මතක තිබෙනවා වගේම පුරුදු වෙනවා. සාමාන්‍ය ජීවිතයේදී වුණත් භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා. ඔයාට විදේශ රටවල සාමාන්‍ය ජනතාව අතර දැන් ව්‍යවහාරයේ පවතින රසවත් වචන මේ මඟින් ඉගෙන ගන්න ලැබෙනවා. මේවා අච්චු පොත් වලින් දැන ගන්න ලැබෙන්නේ නැහැ.

6. උපසිරැසි නිවැරදිව භාවිතා කරන්න

ඔයා ප්‍රථම වරට නම් චිත්‍රපටය නරඹන්නේ අනිවාර්යයෙන් උපසිරැසි සමඟ නරඹන්න. එවිට පහසුවෙන් චිත්‍රපටය තේරුම් ගැනීමට හැකියි. ඉන්පසු නැවත වරක් නරඹන අවස්ථවේදී උපසිරැසි භාවිතා නොකර නරඹලා කළින් වතාවට සාපේක්ෂව කොතරම් හොඳින් තේරුම් ගන්න පුළුවන් ද කියලා සංසන්දනය කරන්න. සමහරක් මීඩියා ප්ලේයර්ස් (උදා: VLC Media Player) වල අංගයක් පැමිණෙනවා ඔයාට වීඩියෝ එකට වඩා තත්පර කිහිපයකින් පසුව උපසිරැසි දිස්වෙන ලෙස සකස් කළ හැකි. ඔයාට තත්පර දෙකක විතර ප්‍රමාදයකින් පසුව උපසිරැසි පෙන්වන ආකාරයට සකස් කරගත්තොත් ඉස්සෙල්ලාම සංවාදයට සවන් දීලා ඒ කියන දෙය තනිවම තේරුම් ගන්න උත්සාහ කරලා ඉන් පසුව එය නිවැරදි ද කියලා තහවුරු කරගන්න.

ඒ අපි කිව්වේ ඉංග්‍රීසි ඉගෙන ගන්න පියවරින් පියවර චිත්‍රපට භාවිතා කරන ආකාරය. දැන් ඔයා හිතනවා ඇති මම චිත්‍රපට වලින් ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගන්න ඕනේ වුණත් ඒ සඳහා සුදුසු චිත්‍රපට ගැන දැනුමක් මට නැහැ කියලා. ඒ නිසාම තමයි අපි ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න ආරම්භයක් ගන්න ලොව පුරා පිරිස් නිර්දේශ කරපු හොඳම චිත්‍රපට 5ක් ගැන දැන් සඳහන් කරන්නේ.

Toy Story (1995)

Trailer – https://www.youtube.com/Toy-Story
අපි කලිනුත් සඳහන් කරා වගේම මේක පරිගණක සජීවිකරණ චිත්‍රපටයක්. ළමයින්ට ගැලපෙන ලෙස සරල බසින් තමයි හඬ කවා තිබෙන්නේ. වුඩී කියලා හිත හොඳ කවු බෝයි බෝනික්කෙක් ගැන තමයි මේ කතාවෙන් කියවෙන්නේ.

Finding Nemo (2003)

Trailer – https://www.youtube.com/Finding-Nemo
මෙයත් පරිගණක සජීවිකරණ චිත්‍රපටයක්. මර්ලින් කියලා මාළුවෙක් එයාගේ නැති වුණු නිමෝ කියන පුතාව සොයා යන ගමනේදී සිදුවන සිද්ධි තමයි මේ කතාවේ අඩංගු වන්නේ.

Harry Potter (2001-2011)

Trailer – https://www.youtube.com/Harry-Potter
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයක් ලබාගත් හැරි පොටර් කතා මාලාව චිත්‍රපට හතකින් සමන්විතයි. ළමා චිත්‍රපටයක් සහ මෙහි කතාව ඉතා රසවත් නිසා ඔයාට පහසුවෙන් තේරුම් ගන්නට හැකියාව තිබෙනවා. මැජික් ඉගෙන ගන්න මැජික් පාසලකට යන දෙමාපියන් නොමැති අනාථ දරුවෙක් වටා මේ කතාව ගෙතී තිබෙනවා.

Forrest Gump (1994)

Trailer – https://www.youtube.com/Forrest-Gump
ඔස්කාර් සම්මාන පවා හිමි කරගෙන තිබෙන මෙම චිත්‍රපටය ඉදිරිපත් වන්නේ ෆොරස්ට් ගම්ප් කියා මන්ද ක්‍රියාකාරීත්වයෙන් පෙළෙන පුද්ගලයෙකු වටායි. මෙහි ප්‍රධාන චරිතය හිමින් කතා කරන නිසා ඔයාට මේ චිත්‍රපටයෙන් ඉංග්‍රීසි අල්ලා ගැනීමට පහසු වේවි.

Titanic (1997)

Trailer – https://www.youtube.com/Titanic
ලොව පුරා ආදරය දිනාගත් ටයිටැනික් චිත්‍රපටයෙන් කියවෙන්නේ ටයිටැනික් නෞකාවේ ගමන් කරන මගීන් දෙන්නෙක් වන ජැක් සහ රෝස්ගේ ආදර කතාව ගැනයි. එදිනෙදා ජීවිතයේදී යොදාගත හැකි සංවාද මේ චිත්‍රපටය තුළින් ඔයාට ඉගෙන ගන්න පුළුවන්.

මීට අමතරව ඔයාට තවත් ඉංග්‍රීසි ඉගෙන ගන්න හොඳ චිත්‍රපට ගැන දැනගන්න ඕනෑ නම් මේ  Top Ten Movies to Learn English YouTube වීඩියෝ එක නරඹන්න. එහිත් මෙවැනි තවත් චිත්‍රපට ගැන සඳහන් කරනවා.

ඉංග්‍රීසි ඉගෙන ගන්න එක ටිකක් අපහසු දෙයක් වුණත් ඒ කාර්යය නීරස එකක් කරගන්න එපා. ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ ඔයාගේ අත්දැකීම රසවත් කරගන්න චිත්‍රපට නැරඹීම වැනි ආශාවෙන් සිදු කළ හැකි දේවල් යොදාගන්න. මේ ලිපියෙන් සඳහන් කළ විදිහට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට චිත්‍රපට භාවිතා කිරීම තුළින් ඔයාගේ ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ ගමන වඩා රසවත් එකක් වේවි යැයි අපි විශ්වාස කරනවා.

ඔයාගේ යාළුවන්ටත් දැනගන්න මේ ලිපිය share කරන්න.

Facebook Comments

0 Shares

1 comment