SayHello

ඉංග්‍රීසි ඉගෙන ගන්න හොඳම YouTube චැනල් 10ක්

0 Shares

සිංදු අහන්න, හිනා යන වීඩියෝ බලන්න, බලන්න බැරි වෙච්ච රුපවාහිනී වැඩසටහන් බලන්න විතරක් නෙමෙයි විවිධ දේවල් ඉගෙන ගන්න, අධ්‍යාපනික වැඩකටයුතු වලටත් YouTube යොදාගන්න පුළුවන් කියලා ඔයා දන්නවද? අද ලෝකය පුරා බොහෝ දෙනෙක් විවිධ දේවල් පිළිබඳ තමන්ගේ දැනුම වර්ධනය කරගන්න මාධ්‍යක් විදිහටත් YouTube පාවිච්චි කරනවා. ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න ගමන් ඉංග්‍රීසි කතාව ඉගෙන ගන්නත් YouTube කියන්නේ ඉතාම ඵලදායී ක්‍රමයක්.

දැන් ඔයාට හිතට එන ප්‍රශ්නයක් තමයි “ඇයි මම YouTube එකෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නේ?” කියලා. YouTube එකෙන් ඉංග්‍රීසි ඉගෙන ගනිද්දී වෙනත් ක්‍රම වලින් ලබාගන්න බැරි සුවිශේෂී වාසි රැසක් ලැබෙනවා.

  • ලැබෙන ඉංග්‍රීසි පාඩම් සියල්ල නොමිලේ
  • ඔයාට කැමති තමන්ගේ මට්ටමට ගැලපෙන පාඩම් ඕනෑම වේලාවක ඕනෑම තැනක ඉඳන් ඉගෙන ගන්න පුළුවන්
  • ආකර්ශණීය විදිහට මේ වීඩියෝ සකස් කරලා තියෙන නිසා ඉංග්‍රීසි ඉගෙනුම ඔයාට විනෝදාත්මක ක්‍රියාවක් වෙනවා

අළුත් භාෂාවක් ඉගෙන ගන්න එක අභියෝගාත්මක ක්‍රියාවක්. ඒ ක්‍රියාව ලේසි පහසු විනෝදාත්මක එකක් කරන්න සැදී පැහැදී සිටින YouTube චැනල් ගොඩක් තියෙනවා. ඔයාගේ ඉංග්‍රීසි දැනුමේ කතා කිරීමේ මට්ටම කුමක් වුවත් ඒ එක එක මට්ටම් වලට ගැලපෙන ආකාරයෙන් නිර්මාණය වුණු වීඩියෝ මේ චැනල් වලින් ඉදිරිපත් කරනවා. ඔයාට කරන්න තියෙන්නේ YouTube සර්ච් බාර් එකේ මේ චැනල් වල නම ටයිප් කරලා සර්ච් කරන එක විතරයි. එතකොට ඒ චැනල් වලින් ඉදිරිපත් කරලා තියෙන වීඩියෝස් ඔයාගේ පරිගණක/දුරකථන තිරයේ දිස් වේවි. මේ වීඩියෝ නරඹන්න ගත්තාම ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්න තියෙන උනන්දුව අනිවාර්යෙන්ම වැඩි වෙන බව අපිට විශ්වාසයි.

ඔයා වගේම ලෝකය පුරාම ඉංග්‍රීසි කතාව වැඩි දියුණු කරන්න, ඉගෙන ගන්න උත්සාහ කරන අය අතරේ ඉතා ජනප්‍රිය YouTube චැනල් 10 ක් තමයි පහත සඳහන් කරලා තියෙන්නේ. ඔයාගේ අවශ්‍යතාවය, රුචිකත්වය සහ දැනුමේ මට්ටම අනුව කැමති චැනල් එකක් තෝරාගෙන ඔයාම තනියෙම ඉංග්‍රීසි ඉගෙන ගන්න ගමන අදම පටන් ගන්න පුළුවන්. කලින් කිව්වා වගේම මේ හැම චැනල් එකක්ම නොමිලේ තමයි මේ පාඩම් ඉදිරිපත් කරන්නේ.

1. BBC Learning English

ලෝකයේ ප්‍රසිද්ධ මාධ්‍ය ජාලයක් වන BBC ආයතනය මඟින් තමයි මේ චැනල් එක පවත්වාගෙන යන්නේ. එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන අවස්ථා, සම්මුඛ සාකච්චා. කාටුන් වගේ විවිධ ආකෘතින් වලින් සකස් වුණ වැඩසටහන් ඔවුන් ඉදිරිපත් කරනවා. මේ වැඩසටහන්වල කාලය කෙටි වුණත් වැදගත් තොරතුරු රැසක් අඩංගු වෙනවා. වැඩි දැනුමක් නොමැති අයටත්, දැනුම සාමාන්‍ය මට්ටමක පවතින අයටත්, හොඳ දැනුමක් ඇති අයටත් භාවිතා කළ හැකි චැනල් එකක් විදිහට BBC Learning English හඳුන්වන්න පුළුවන්.

link : https://www.youtube.com/user/bbclearningenglish

2. British Council Learn English


British Council එහෙමත් නැත්තම් බ්‍රිතාන්‍ය කවුන්සිලය ගැන ඔයා අහල ඇති. අපේ රටේත් එහි ශාඛාවක් තිබෙනවා. British Council Learn English කියන්නේ ඔවුන්ගේ මව් සංගමය විසින් පටන් ගත්ත චැනල් එකක්. මෙහි වීඩියෝ වල වෘත්තීය පෙනුමක් තමයි දක්නට ලැබෙන්නේ. සජීවිකරණ/කාටුන් භාවිතයෙන් කියාදෙන ව්‍යාකරණ පාඩම් වගේම සත්‍ය ජීවිතේ සිදුවීම් ආශ්‍රිත පාඩම් ද මේ චැනල් එකෙන් විකාශය කරනවා.

link: https://www.youtube.com/user/BritishCouncilLE

3. JenniferESL


ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න පටන්ගන්න අයට ඉතාමත් හොඳ YouTube චැනල් එකක් තමයි මේ. වීඩියෝ නරඹද්දී ඉතාමත් කරුණාවන්ත ගුරුවරියකගෙන් ඉගෙන ගන්නවා වගේ හැඟීමක් ඔයාට දැනේවි. මේ චැනල් එකේ වීඩියෝස් විවිධාකාර මාතෘකා රාශියකින් සමන්විත වෙනවා වගේම ඉගෙනගැනීමට උදවු කරන්න අලංකාර ග්‍රැෆික්ද ඒවායේ ඇතුලත් වෙනවා.

link: https://www.youtube.com/user/JenniferESL

4. Rachel’s English

ඔයා උනන්දු වන්නේ ඔයාගේ ඉංග්‍රීසි වචන උච්චාරණය හදාගන්න නම් මේ චැනල් එක තමයි ගැලපෙන්නේ. හැබැයි මෙහි කියලා දෙන්නේ ඇමරිකානු ආකාරයට ඉංග්‍රීසි වචන උච්චාරණය. එත් ඉංග්‍රීසි වචන උච්චාරණයට ආරම්භයක් ගන්න මේක හොඳ චැනල් එකක්. සෑම අඟහරුවාදා දිනකම ඔවුන් අළුත් වීඩියෝ එකක් නිකුත් කරනවා.

link: https://www.youtube.com/user/rachelsenglish

5. Business English Pod

ඔයා රැකියාවකට යන කෙනෙක් නම් මේ චැනල් එක වඩාත් සුදුසුයි. මේ චැනල් එකේ කියලා දෙන්නේ ව්‍යාපාරික ඉංග්‍රීසි. අපි සාමාන්‍ය ජීවිතයේදී භාවිතා කරන ඉංග්‍රීසි වලට වඩා ව්‍යාපාරික ලෝකයේ භාවිතා වන ඉංග්‍රීසි හාත්පසින්ම වෙනස්. මේ චැනල් එකේ තිබෙන වීඩියෝ නරඹලා ඔයාට තනිවම ඉගෙන ගන්න පුළුවන් ආකාරයට තමයි සකසලා තියෙන්නේ. රැකියා ස්ථානයේ කැපී පෙනෙන චරිතයක් වෙන්න, උසස් වීමක් ලබා ගන්න ඔයා ගන්නා උත්සාහයට Business English Pod චැනල් එකෙන් කියා දෙන ව්‍යාපාරික ඉංග්‍රීසි හොඳ රුකුලක් වේවි.

link: https://www.youtube.com/user/bizpod

6. Speak English with MisterDuncan


හිනා වෙවී විහිළු තහළුවෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති නම් ඔයාට කියාපු චැනල් එක තමයි Speak English with MisterDuncan. මේ වීඩියෝ වල විශිෂ්ටත්වයට හේතුව ඒවා ඉදිරිපත් කරන ඩන්කන් මහතාගේ පෞර්ෂත්වය සහ අන් අයව හිනා ගැස්වීමට ඇති උපන් හැකියාව. ඔහු ඉතාමත් පළපුරුදු ගුරුවරයෙක්. ව්‍යාකරණ, උච්චාරණය, අක්ෂර වින්‍යාසය ආදී විවිධ මාතෘකා යටතේ සැකසුණු පාඩම් මේ චැනල් එකෙන් හමු වෙනවා.

link: https://www.youtube.com/user/duncaninchina

7. Let’s Talk


Let’s Talk කියන්නේ ඉන්දියානු ජාතික තරුණියක් විසින් පවත්වාගෙන යන YouTube චැනල් එකක්. සුදු ජාතිකයන්ගේ උච්චාරණය ඔයාට අල්ලගන්න අපහසු නම් මේ චැනල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතාම පැහැදිලව උපදෙස් ලබා දෙන ව්‍යාකරණ, නිවැරදි උච්චාරණය, වචන මාලාව, විවිධ වැකි සහ පිරුළු, සංවාද ගැන පාඩම් මේ චැනල් එකෙන් ඉදිරිපත් කරනවා. ඉංග්‍රීසි භාෂාවේ නිපුණත්වය මනින විභාගයක් වන IELTS විභාගයට සූදානම් වෙන්න අවශ්‍ය වීඩියෝත් මේ චැනල් එකේ තිබීම විශේෂත්වයක්. දිනක් හැර දිනක් අළුත් වීඩියෝ ඔවුන් YouTube වෙත නිකුත් කරනවා.

link: https://www.youtube.com/user/learnexmumbai

8. VOA Learn English

VOA නැත්තම් Voice of America කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉතාමත් ජනප්‍රිය රූපවාහිනි ප්‍රවෘත්ති නාලිකාවක්. මේ චැනල් එකේ වීඩියෝ සකස් කරලා තියෙන්නේ රුපවාහිනී ප්‍රවෘත්ති විකාශනයක් වගේ. හැබැයි ඒවා ඉදිරිපත් කරන්නේ පුහුණු වුණු ඉංග්‍රීසි ගුරුවරු. ඉතා සෙමින් පැහැදිලිව සරල බසින් ඔවුන් කතා කරන විට උපසිරැසිත් දිස්වෙන අයුරින් සකස් කරලා තියෙනවා. ඉංග්‍රීසි ප්‍රවෘත්ති නරඹන්න හුරු වෙන ගමන් වැදගත්/රසවත් මාතෘකා ගැන ඉගෙන ගනිමින් ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න මේ චැනල් එක ඔයාට ප්‍රයෝජනවත් වේවි.

link: https://www.youtube.com/user/VOALearningEnglish

9. ESL Basics


ඔයාට අවශ්‍ය ඉක්මනින් ඉංග්‍රීසි ඉගෙන ගන්න නම් මේ චැනල් එක භාවිතා කරන්න පුළුවන්. ESL Basics චැනල් එකේ කුඩා පාඩම් තමයි ඉදිරිපත් කරන්නේ. වචන මාලාව, විවිධ කියමන් හා ක්‍රියාපද ගැන වීඩියෝ ඔයාට මේ තුළින් නරඹන්න පුළුවන්.

link: https://www.youtube.com/user/ESLbasics

10. Speak English with Steve Ford

මේ චැනල් එක අන්තර්ගතය අතින් ඉතා පොහොසත්. ඔයාගේ අරමුණ ඉංග්‍රීසි සංවාද පුහුණු වෙන්න වුණත්, ඉංග්‍රීසි විභාගයක් සමත් වෙන්න වුණත්, ව්‍යාපාරික ඉංග්‍රීසි ඉගෙන ගන්න වුණත් ඒ අවශ්‍යතාවයට සරිලන විදියේ වීඩියෝස් Speak English with Steve Ford චැනල් එකෙන් ඉදිරිපත් කරනවා. ඔයාගේ අරමුණට ලේසියෙන් ළඟා වෙන්න මේ චැනල් එකේ වීඩියෝ තුළින් පුළුවන් වේවි.

අපි දැන් ඔබට කිව්වේ ඉංග්‍රීසි ඉගෙන ගන්නා බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය ගුණාත්මක YouTube චැනල් 10ක් පමණයි. YouTube එකේ සර්ච් කරොත් ඔයාට තවත් චැනල් ගොඩක් හොයාගන්න පුළුවන්. මෙහි සඳහන් කරපු චැනල් භාවිතා කරොත් ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්න, කතා කරන්න දරන මහන්සිය රසවත් එකක් බවට අනිවාර්යයෙන්ම පත් වේවි.

link: https://www.youtube.com/user/PrivateEnglishPortal

මේ ලිපිය ප්‍රයෝජනවත් කියල හිතෙනවනම් යාලුවන්ටත් බලන්න share කරන්න

Facebook Comments

0 Shares