SayHello

සම්මුඛ පරීක්ෂණයකදී ඉංග්‍රීසියෙන් කතා කරන්න ඔබට මඟ පෙන්වීමක්

0 Shares

අද කාලයේ හොඳ රැකියාවක් ලබා ගන්නවා කියන්නේ ලොකු අභියෝගයක්. අද වන විට බොහෝ සම්මුඛ පරීක්ෂණ පවත්වන්නේ ඉංග්‍රීසියෙන්. ඉංග්‍රීසි හොඳින් කතා කරන්න පුළුවන් සමහර අය වුණත් ආතතිය නිසා මෙවන් සම්මුඛ පරීක්ෂණ වලට හොඳින් මුහුණ දෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව එතරම් හොඳ නැතිනම් ඔබ සම්මුඛ පරීක්ෂණයට ඉංග්‍රීසියෙන් මුහුණ දෙන හැටි ගැන දැනගෙන සිටීම ඉතා වැදගත්. ඒ නිසා “SayHello” අපි සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීමේදී ඉංග්‍රීසියෙන් කතා කරන්න අවශ්‍ය වන දැනුම මේ ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්න හිතුවා. අපි පහත සඳහන් කරලා තියෙන්නේ රැකියා සම්මුඛ පරීක්ෂණ වලදී වැඩිපුරම අහනවා කියලා සම්මත වෙච්ච ප්‍රශ්න කිහිපයක් සහ ඒවාට ලබා දෙන්න පුළුවන් ආදර්ශ පිළිතුරු කිහිපයක්. මේ ප්‍රශ්න සහ පිළිතුරු කියවලා ඒවායේ අදහස හිතට ගත්තාම ඔයාට පුළුවන් ඒක ඔයාගේ අවස්ථාවට අදාළ වෙන විදිහට ඔයාගේ විස්තර එකතු කරලා සකසාගන්න. අපි දැන් මේ ප්‍රශ්න මොනවද කියලා බලමු.

අපට ඔබ ගැන කියන්න

සාමාන්‍යයෙන් ඕනෑම සම්මුඛ පරීක්ෂණයකදී ඉස්සෙල්ලම අහන්නේ මේ ප්‍රශ්නය තමයි. ඒත් එය ඔබෙන් විවිධ ආකාරයෙන් අහන්න අවස්ථාව තියෙනවා. පහත සඳහන් කරලා තියෙන්නේ ඒ වගේ විධි තුනක්. එකම ප්‍රශ්නය වෙනස් විධි වලින් අහන්න පුළුවන් නිසා ඔබ ටිකක් අවධානය යොමු කරලා බලන්න ඔවුන් අහන්නේ මේ ප්‍රශ්නයම වෙනත් විදිහකට ද කියලා.

Tell us about yourself

අපට ඔබ ගැන කියන්න
(ටෙල් අස් අබවුට් යුවර්සේල්ෆ්)

Please introduce yourself to me

කරුණාකර අපට ඔබව හඳුන්වා දෙන්න
(ප්ලීස් ඉන්ට්‍රඩියුස් යුවර්සෙල්ෆ් ටු මී)

We would like to get to know about you

අපි ඔබ ගැන දැනගන්න කැමතියි
(වී වුඩ් ලයික් ටු ගෙට් ටු නෝ අබවුට් යූ)

අපි බලමු දැන් ඔයා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ කොහොමද කියලා. මෙතැනදී ඔයා ඉන්නේ කොහේද, ඔයාගේ වයස කීයද වගේ ඒවා නැතුව රැකියාවට අදාළ වන ඔයාගේ සුදුසුකම් වගේ දේවල් ගැන තමයි කියන්න ඕනේ.
හැමෝටම භාවිතා කරන්න පුළුවන් වන විදිහේ පොදු උත්තරයක් තමයි අපි ඔයාට කියලා දෙන්නේ. ඒ නිසා ඔයාට ගැලපෙන විදිහට ඔයාගේ විස්තර දාලා මේ උත්තරය ඔයාට අවශ්‍ය වන විදිහට වෙනස් කරගන්න.

ඔයා කළින් රස්සාවක් කරලා තියෙනවා නම්;

Good Morning, I am Sahan Perera.

සුභ උදෑසනක්, මම සහන් පෙරේරා

(ගුඩ් මෝර්නින්, අයි ඈම් සහන් පෙරේරා)

I have been working in the field of marketing for three years now.

මම මේ වන විට අලෙවිකරණ ක්ෂේත්‍රයේ වසර තුනක් තිස්සේ වැඩ කරනවා.

(අයි හෑව් බීන් වර්කින් ඉන් ද ෆීල්ඩ් ඔෆ් මාර්කටින් ෆෝ ත්‍රී ඉයර්ස් නව්)

I have extensive hands on experience on designing marketing campaigns.

මට අලෙවි වැඩසටහන් නිර්මාණය කිරීම පිළිබඳ විශාල අත්දැකීම් තිබෙනවා.

(අයි හෑව් එක්ස්ටෙන්සිව් හෑන්ඩ්ස් ඔන් එක්ස්පීරියන්ස් ඔන්  ඩිසයිනින් මාර්කටින් කැම්පේන්ස්)

අපි තවත් උදහරණයක් ගමු. මේක ගැළපෙන්නේ ඔයා මීට පෙර රැකියාවක් කරලා නැති අවස්ථාවකදී,

Good afternoon, I am Radhika

සුභ දහවලක්, මම රාධිකා

(ගුඩ් ආෆ්ටර්නූන්, අයි ඈම් රාධිකා.)

I completed advanced levels in arts stream and I obtained a diploma in tourism from the University of Technology.

මම කලා විෂය ධාරාවෙන් උසස් පෙළ සම්පූර්ණ කර, තාක්ෂණික විශ්වවිද්‍යාලයෙන් සංචාරක කර්මාන්තය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ගත්තා

(අයි කම්ප්ලීටඩ් ඇඩ්වාන්ස් ලෙවල්ස් ඉන් ආර්ට්ස් ස්ට්‍රීම් ඇන්ඩ් ඔබ්ටේන්ඩ් අ ඩිප්ලෝමා ඉන් ටුවරිසම් ෆ්‍රොම් ද යුනිවසිටි ඔෆ් ටෙක්නොලජි)

I possess good speaking and negotiation skills.

මා සතුව හොඳ කතා කිරීමේ සහ ගනුදෙනු කිරීමේ හැකියාවක් තිබෙනවා

(අයි පොසෙස් ගුඩ් ස්පීකින් ඇන්ඩ් නෙගෝශියේෂන් ස්කිල්ස්)

ඇයි ඔබ මේ රැකියාවට අයදුම් කරේ?

Why did you apply for this job?

ඇයි ඔබ මේ රැකියාවට අයදුම් කළේ?
(වයි ඩිඩ් යූ ඇප්ලයි ෆෝ දිස් ජොබ්?)

Why are you interested in this position at our company?

ඇයි ඔබ අපේ සමාගමේ මේ තනතුර ගැන උනන්දු වන්නේ?
(වයි ආ යූ ඉන්ටරෙස්ටඩ් ඉන් දිස් පොසිෂන් ඇට් අවර් කම්පැනි?)

What brings you here?

ඔබ මෙතනට පැමිණීමට හේතු වූයේ කුමක්ද?
(වට් බ්‍රින්ග්ස් යූ හියර්?)

මේ විදිහට ඔබ අදාළ තනතුරට අයදුම් කළේ ඇයි කියලා ඔවුන් ඔබෙන් අහන්න පුළුවන්. මේකත් අපි කළින් කිව්වා වගේම අදාළ සම්මුඛ පරීක්ෂණයට ගැළපෙන විදිහට තමයි කියන්න ඕනේ. විශේෂයෙන්ම එම තනතුරට ඔබ දක්වන කැමත්ත සහ එයට ඔබ සුදුසු වන්නේ ඇයි කියලා මේ පිළිතුරෙන් ඔබට සම්මුඛ පරීක්ෂණය පවත්වන පුද්ගලයන්ට දන්වන්න පුළුවන්. මේ පිළිතුරෙන් තමයි ඔබට රැකියාව ලැබෙනවාද නැද්ද කියන එක බොහෝ දුරට තීරණය වෙන්නේ . ඒ නිසා අපි ලබාදෙන උදාහරණ ඔයාගේ තොරතුරු දාලා ඔයාට ගැළපෙන විදිහට වෙනස් කර ගන්න.

I’m always passionate about latest trends in the hotel industry and therefore I applied to this Job.

(අයි ඈම් ඕල්වේස් පැෂනේට් අබවුට් ලේටස්ට් ට්‍රෙන්ඩ්ස් ඉන් ද හොටෙල් ඉන්ඩස්ට්‍රි ඇන්ඩ් දෙයාර්ෆෝ අයි අප්ලයිඩ් ටු දිස් ජොබ්)
මම නිතරම හෝටල් ක්ෂේත්‍රයේ අළුත් දේවල් පිළිබඳ ඇල්මක් දක්වනවා. එම නිසා මම මේ රැකියාවට අයදුම් කළා.

I think with my previous experience in the hotel industry I would be able to perform the duties related to this job very well.

(අයි තින්ක් විත් මයි ප්‍රීවියස් එක්ස්පීරියන්ස් ඉන් ද හොටෙල් ඉන්ඩස්ට්‍රි අයි වුඩ් බී ඒබල් ටු පෆෝම් ද ඩියුටීස් රිලෙටඩ් ටු දිස් ජොබ් වෙරි වෙල්)
මම හිතනවා මීට පෙර මම හෝටල් ක්ෂේත්‍රයේ ලබා තිබෙන අත්දැකීම් සමඟ මේ රැකියාවේ වගකීම් හොඳින් ඉටු කරන්නට හැකි වේවි කියලා.

I applied for this job because it aligns with my career goals

(අයි ඇප්ලයිඩ් ෆෝ දිස් ජොබ් බිකොස් ඉට් අලයින්ස් විත් මයි කැරියර් ගොල්ස්)
මම මේ රැකියාවට අයදුම් කළේ එය මගේ වෘත්තීය අරමුණු සමඟ ගැළපෙන නිසා

I believe my skills and the educational background qualifies me for this job

(අයි බිලීව් මයි ස්කිල්ස් ඇන්ඩ් ද එඩියුකේෂනල් බැක්ග්‍රවුන්ඩ් කොලිෆයිස් මී ෆෝ දිස් ජොබ්)
මම විශ්වාස කරනවා මගේ හැකියාවන් සහ අධ්‍යාපනික පසුබිම මේ රැකියාවට මා සුදුස්සෙක් කරනවා කියලා.

ඔබ තව වසර පහකින් ඔබව දකින්නේ කොහොමද?

මේ ප්‍රශ්නයෙන් ඔබෙන් අහන්නේ ඔබේ අනාගත අරමුණු ගැනයි. තව වසර පහකට පසුව ඔබේ වෘත්තීය ජීවිතයේ ඔබ ළඟා වන්න සිතා සිටින ඉලක්ක ගැන තමයි ඔවුන් විමසන්නේ. ඔබට හොඳ අරමුණක් තිබෙනවා නම් බිය නැතුව ඒ ගැන ප්‍රකාශ කරන්න. ඔබට පරීක්ෂණ මණ්ඩලයේ විශ්වාසය දිනා ගැනීමට ඒ තුළින් පුළුවන්.
මේ ප්‍රශ්නය ඔබෙන් මේ ආකාරයෙන් අහන්න පුළුවන්.

Where do you see yourself in five years?

(වෙයාර් ඩු යූ සී යුවර්සේල්ෆ් ඉන් ෆයිව් ඉයර්ස්?)

ඔබ තව වසර පහකින් ඔබව දකින්නේ කොහොමද?

What do you want to be doing five years from now?

(වට් ඩු යූ වෝන්ට් ටු බී ඩුයින් ෆයිව් ඉයර්ස් ෆ්‍රොම් නව්?)

ඔබට දැන් සිට වසර පහකින් කුමක් කරමින් සිටිනටද අවශ්‍ය?

දැන් බලමු මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ කොහොමද කියලා. ඔබ ඔවුන්ට පෙන්නන්න ඕනේ ඔබ අයදුම් කරලා තිබෙන රැකියාව ඔබේ අනාගත අරමුණු සමඟ හොඳින් පෑහෙනවා කියලා.

I like to learn and grow with this job. Five years from now, I see myself as a senior executive in this company.

(අයි ලයික් ටු ලර්න් ඇන්ඩ් ග්‍රෝ විත් දිස් ජොබ්. ෆයිව් ඉයර්ස් ෆ්‍රොම් නව්, අයි සී මයිසෙල්ෆ් ඈස් අ සීනියර් එක්ස්සේකටිව් ඉන් දිස් කම්පැනි)
මම කැමති මේ රැකියාවෙන් ඉගෙන ගෙන වර්ධනය වෙන්න. දැන් සිට වසර පහකින් මම මාව මේ සමාගමේ ජේෂ්ඨ විධයක නිලධාරියෙක් ලෙස දකිනවා.

In five years time, I want to become a marketing manager and I think this job is the right start to achieve my goal

(ඉන් ෆයිව් ඉයර්ස් ටයිම්, අයි වෝන්ට් ටු බිකම් අ මාර්කටින් මැනේජර් ඇන්ඩ් අයි තින්ක් දිස් ජොබ් ඊස් ද රයිට් ස්ටාර්ට් ටු අචීව් මයි ගෝල්)
තව වසර පහකින් මට අවශ්‍යයි අළෙවිකරණ කළමනාකරුවෙක් වෙන්න. මම හිතනවා මගේ ඒ අරමුණ කරා යන්න හරිම ආරම්භය මේ රැකියාව කියලා.

ඔයා අයදුම් කරලා තිබෙන රැකියාවට ගැළපෙන ලෙස මේ ප්‍රශ්නයට පිළිතුර හදාගන්න.

ඔබේ ලොකුම ශක්තිය කුමක්ද?

What is your greatest/biggest strength?

ඔබේ ලොකුම ශක්තිය කුමක්ද?
(වට් ඊස් යුවර් ග්‍රේටස්ට්/බිගස්ට් ස්ට්‍රෙන්ග්ත්?)

මේ ප්‍රශ්නයෙන් ඔබෙන් අහන්නේ ඔබේ රැකියාවේදී ප්‍රයෝජනයට ගන්න ඔබට තිබෙන ලොකුම ශක්තිය කුමක්ද කියලා

සමහර විට What are your strengths? (වට් ආර් යුවර් ස්ට්‍රෙන්ග්ත්ස්?) කියලා ඔබට තිබෙන ශක්තීන් කිහිපයක් ගැනත් අහන්න පුළුවන්.

මේ ප්‍රශ්නයට උත්තර දෙනකොට ඔබෙන් ලොකුම ශක්තිය ගැන ඇහුවොත් එක් දෙයක් ගැන පමණක් පවසන්න. නැත්තම් ශක්තීන් කිහිපයක් ගැන පවසන්න.

My biggest strength is that I’m a good team player. I can work in a team to bring out the best by working collectively

(මයි බිගස්ට් ස්ට්‍රෙන්ත් ඊස් දැට් අයි ඈම් අ ගුඩ් ටීම් ප්ලයෙර්. අයි කැන් වර්ක් ඉන් අ ටීම් ටු බ්‍රින්ග් අවුට් ද බෙස්ට් බයි වර්කින් කලෙක්ටිව්ලි)
මගේ ලොකුම ශක්තිය තමයි මට හොඳින් කණ්ඩායමක් එක්ක වැඩ කරන්න පුළුවන් වීම. මට පුළුවන් එකතු වෙලා වැඩ කරලා කණ්ඩායමකින් හොඳම දේ එළියට ගේන්න.

I can state that being able to see the bigger picture, being punctual and creative are my biggest strengths

(අයි කැන් ස්ටේට් දැට් බීන් ඒබල් ටු සී ද බිගර් පික්චර්, බීන් පන්ක්චුවල් ඇන්ඩ් ක්‍රියේටිව් ආ මයි බිගස්ට් ස්ට්‍රෙන්ග්ත්ස්)
මගේ ලොකුම ශක්තීන් විදිහට යමක් ගැඹුරින් දකින්නට හැකි වීම, වෙලාවට වැඩ කිරීම සහ නිර්මාණශීලී බව දක්වන්න පුළුවන්.

මේ උදාහරණ පමණයි. ඔයාට ඇත්තටම තිබෙන ශක්තීන් ගැන මේ ප්‍රශ්නේදී උත්තර දෙන්න.

ඔබේ පෙර රැකියා මොනවාද?

What is your job history?

ඔබේ රැකියා ඉතිහාසය කුමක්ද?
(වට් ඊස් යුවර් ජොබ් හිස්ට්‍රි?)

Describe about your previous jobs

ඔබේ පෙර රැකියා ගැන විස්තර කරන්න
(ඩිස්ක්‍රයිබ් අබවුට් යුවර් ප්‍රීවියස් ජොබ්ස්)

ඔයා මීට පෙර රැකියාවක් කරලා නැත්තම් ඔයාට මේ ප්‍රශ්නෙට “I haven’t been previously employed” (අයි හැවන්ට් බීන් ප්‍රීවියස්ලි එම්ප්ලොයිඩ්) – මම මින් පෙර රැකියාවක් කරලා නැහැ කියලා උත්තර දෙන්න පුළුවන්.

හැබැයි ඔයා මීට පෙර රැකියාවක් කරලා තියෙනවා නම් ඒ රැකියාවල් ගැන මේ ප්‍රශ්නේදී විස්තර කරන්න ඕනේ. ඔයා සමහරවිට මේ සම්මුඛ පරීක්ෂණයට යද්දී වුණත් රැකියාවක් කරමින් ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නම් ඒ ගැනත් සඳහන් කරන්න.

I’m currently working as a sales executive at the Z company. Before that I worked as a sales assistant at Y company.

(අයි ඈම් කරන්ට්ලි වර්කින් ඈස් අ සේල්ස් එක්සේකටිව් ඇට් ද ඉසෙඩ් කම්පැනි. බිෆෝ දැට් අයි වර්ක්ඩ් ඈස් අ සේල්ස් ඇසිස්ටන්ට් ඇට් වයි කම්පැනි.)

මම දැන් ඉසෙඩ් සමාගමේ වෙළඳ නිලධාරියෙක් විදිහට සේවය කරනවා. ඊට පෙර මම වයි සමාගමේ වෙළඳ සහයකයෙක් විදිහට සේවය කළා.”

I have 3 years experience as a technical officer at B company

(අයි හෑව් ත්‍රී ඉයර්ස් එක්ස්පීරියන්ස් ඈස් අ ටෙක්නිකල් ඔෆිසර් ඇට් බී කම්පැනි)
මට තාක්ෂණික නිලධාරියෙක් ලෙස බී සමාගමේ වසර 3ක පළපුරුද්දක් තිබෙනවා.

මේ විදිහට පිළිතුරු දෙන්න ඔබ මින් පෙර සේවය කර තිබෙන සමාගම් සහ රැකියා ගැන ඉංග්‍රීසියෙන් කතා කරන විදිහ ගැන ඔබ දැනගෙන සිටින්න. ඒ පිළිතුරු සකස් කර ගැනීමේදී මේ විදිහට ඒවා ගොඩ නඟා ගන්න.

ඇයි අපි ඔබට මේ රැකියාව ලබා දිය යුත්තේ?

මෙය ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. ඔවුන් ඔබට රැකියාව ලබා දිය යුත්තේ ඇයි කියා ඔබෙන් අසනවා. එතකොට ඔබ දෙන පිළිතුර කුමක් ද? මෙහි දී ඔබ ඔවුන්ට පෙන්විය යුතුයි මේ රැකියාවට ඉල්ලුම් කර තිබෙන අනෙක් පුද්ගලයින්ට වඩා මෙම රැකියාවට ඔබට සුදුසුකම් තිබෙන බව. එම නිසා විශ්වාසයෙන් යුතුව මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙන්න. මේ ප්‍රශ්නය ඉංග්‍රීසියෙන් මේ විදිහට අහන්න පුළුවන්.

Why should we hire you?

ඇයි අපි ඔබව සේවයට ගත යුත්තේ?
(වයි ෂුඩ් වී හයර් යූ?)

මේ ප්‍රශ්නෙටත්  ඔබ පිළිතුරු දිය යුත්තේ ඔබේ දක්ෂතාවයන් සහ සුදුසුකම් ආදිය සහ මින් පෙර අත්දැකීම් තිබෙනවා නම් මුල් කර ගෙන සහ ඔබට මේ රැකියාවේ වගකීම් හොඳින් ඉටු කළ හැකියි කියායි. අපි බලමු දැන් උදාහරණයක් දෙස;

I think that my experience in the garment industry and my ability to work hard make me a good match for this position.

(අයි තින්ක් දැට් මයි එක්ස්පීරියන්ස් ඉන් ද ගාර්මන්ට් ඉන්ඩස්ට්‍ර් ඇන්ඩ් මයි අබිලිටි ටු වර්ක් හාඩ් මේක් මී අ ගුඩ් ෆිට් ෆෝ දිස් පොසිෂන්)
මම හිතනවා ඇඟලුම් ක්ෂේත්‍රයේ මගේ අත්දැකීම් සහ මගේ මහන්සි වී වැඩ කළ හැකි හැකියාව නිසා මා මේ රැකියාවට සුදුසුයි කියා.

I enjoy working with people which makes me a good team player and I believe that my familiarity with the industry would make me a good fit for this position

(අයි එන්ජෝයි වර්කින් විත් පීපල් විච් මේක්ස් මී අ ගුඩ් ටීම් ප්ලේයර් ඇන්ඩ් අයි බිලීව් දැට් මයි ෆමිලියරිටි විත් ද ඉන්ඩස්ට්‍රි වුඩ් මේක් මී අ ගුඩ් ෆිට් ෆෝ දිස් පොසිෂන්)
මම මිනිසුන් සමඟ වැඩ කිරීමට ආසා නිසා මම හොඳ කණ්ඩායම් සාමාජිකයෙක් සහ මම විශ්වාස කරනවා මගේ මේ කර්මාන්තය සමඟ ඇති සමීපත්වය නිසා මම මේ රැකියාවට සුදුසු වෙයි කියා.

මීට අමතරව බොහෝ විට රැකියා සම්මුඛ පරීක්ෂණයකදී ඔබෙන් එම සමාගම ගැන ප්‍රශ්න අහන්නත් ඉඩ තිබෙනවා. එම නිසා අනිවාර්යයෙන්ම සම්මුඛ පරීක්ෂණයට කලින් ඔබ අන්තර්ජාලයේ එම සමාගම පිළිබඳ තොරතුරු එහි අතීතය, වර්තමාන තොරතුරු, සේවාවන්, ශාඛාවන්, ප්‍රධානීන් ගැන තොරතුරු දැනගන්න. ඒවා ඉංග්‍රීසියෙන් කියන හැටි නිවසේදී පුහුණු වන්න.

සම්මුඛ පරීක්ෂණයකදී මොන වගේ ප්‍රශ්න ඔයාගෙන් අහයිද කියලා හරියටම අපිට කියන්න බැහැ. ඒක එක එක රැකියාව, ආයතනය අනුව වෙනස් වෙනවා. එත් පොදුවේ හැම සම්මුඛ පරීක්ෂණයකදීම අහන්න පුළුවන් වැඩි අවස්ථාවක් තියෙන ප්‍රශ්න කිහිපයක් ගැන අපි ඔබට මේ ලිපියෙන් කියලා දුන්නේ. ඔයා මතක ඇතුව මේ උත්තර ඔයාගේ විස්තර ඇතුළත් කරලා ඔයාගේ සම්මුඛ පරීක්ෂණයට ගැළපෙන විදිහට සකසා ගන්න අමතක කරන්න එපා. උත්තර සකසා ගෙන යද්දී ගැටළුවක් ආවොත් හරි උදව්වක් ඕනේ වුණොත් හරි ෆේස්බුක් පණිවිඩයක් ඔස්සේ “SayHello” අපෙන් අහන්න. දැන් ඉතිං ඉස්සර වගේ සම්මුඛ පරීක්ෂණයකට ඉංග්‍රීසියෙන් මුහුණ දෙන්න බිය වෙන්න ඕනේ නැහැ. ඊළඟ සම්මුඛ පරීක්ෂණයට සාර්ථකව මුහුණ දීලා ඔයාගේ සිහින රැකියාව ලබා ගන්න ඔයාට හැකිවෙන්න කියලා අපි සුභ පතනවා.

Images from Pexel.com

Facebook Comments

0 Shares

1 comment