SayHello

ඉංග්‍රීසි භාෂාවේ විශේෂ යෙදුම් ගැන හඳුන්වාදීමක්

0 Shares

ඔබට ස්වදේශිකයෙක් වගේ ඉංග්‍රීසි කතා කිරීමට නම් ඉංග්‍රීසි භාෂාවේ එන විශේෂ යෙදුම් එසේත් නැතිනම් “Idioms” ගැන දැන සිටීම වැදගත් වෙනවා. “Idioms” කියන්නේ මතුපිටින් පෙනෙන්නට තියෙන අදහසට වඩා හාත්පසින්ම වෙනස් අදහසක් දෙන වාක්‍ය ඛණ්ඩයකට. ඔබට අහඹු වචන ලෙස පෙනුණත් ඒවා අතීතයේ සමහර සිදු වීම් කාලයත් සමඟ වර්ධනය වී පැමිණ මෙලෙස “Idioms” ලෙස දැන් භාවිතයට ගැනෙනවා. ඕනෑම භාෂාවක මෙලෙස විශේෂ යෙදුම් දක්නට ලැබෙනවා. ඒවා ඒ ඒ භාෂා සහ රටවල් වල සංස්කෘතිය සමඟ වෙනස් වෙනවා. මෙම විශේෂ යෙදුම් එදිනෙදා කතා බහේදී නිරන්තරයෙන් භාවිතා වන නිසා ඒවා නොදැන හිටියොත් ඔබට ඒ පුද්ගලයා පවසන දේට අදාළ නිසි වාතාවරණය දැන ගැනීමට නොහැකි වේවි. “Idioms” ගැන ඉගෙන ගන්න හොඳම විදිහ තමයි ඒ වගේ ලිඛිත තේරුම ගැන හිතන්න එපා.මොකද ගොඩක් විට ඒ වචන කිහිපයේ එකතුව දිහා බැලුවාම එයින් එන්නේ විකාර අදහසක්. එහෙත් මේ “Idioms” වල තිබෙන්නේ සැඟවුණු වෙනත් අරුතක්. ඒවා දැන ගැනීමට නම් ඔබ භාෂාව නිතර ඇසුරු කළ යුතුමයි.

විශේෂ යෙදුම් ගැන දැන සිටීමේ වැදගත්කම මොකක්ද?

ඕනෑම භාෂාවක විශේෂ යෙදුම් ගැන දන්නේ එය මව් භාෂාව වූ පුද්ගලයන් හෝ එම භාෂාව පිළිබඳ හොඳ දැනුමක් තියෙන අයෙක්. ඒ නිසා ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට පටන් ගන්නා පුද්ගලයෙක් වශයෙන් ඔබට “Idioms” ගැන දැනුමක් තිබීම වැදගත්. එමඟින් අන් අය සමඟ ඔබ කතා කරන විට ඔබට ඉංග්‍රීසි පිළිබඳ හොඳ දැනුමක් ඇති බව ඔවුන්ට වැටහේවි. ඒ වගේම සංවාදයකදී යම් අයෙක් ඔබට මේ “Idioms” එකක් පැවසුවොත් ඔබ එහි නිවැරදි තේරුම දන්නේ නැත්තම් ඔබට ඔවුන් පවසන දේ පිළිබඳව නිවැරදි අදහසක් ගැනීමට නොහැකි වේවි. ඒ වගේම ඔවුන් පවසන දෙයට හාත් පසින්ම වෙනත් අදහසක් ඔබ දෙන පිළිතුරේ අඩංගු වීමටත් පුළුවන්. මෙම “Idioms” බොහෝ විට කතා කරන භාෂාවේදී භාවිතා වන නිසා ඔබේ ඉංග්‍රීසි කතාව වැඩි දියුණු කර ගැනීමේදී මේ පිළිබඳ දැනුම ඉතා වැදගත් වේවි.

දැන් අපි අවධානය යොමු කරමු ඉංග්‍රීසි භාෂාවේ බහුලව භාවිතා වන “Idioms” 10ක් සහ ඒවායේ තේරුම් සම්බන්ධව.

Break a leg

(බ්‍රේක් අ ලෙග්)

Break a leg කියන වචන කිහිපයේ සිංහල තේරුම කෙලින්ම ගත්තොත් ඒ කියන්නේ කකුලක් කඩනවා කියන එක. එහෙත් මේ විශේෂ යෙදුමෙන් කියවෙන්නේ ඊට හාත් පසින්ම වෙනස් වූ අදහසක්. කවුරුන් හෝ කෙනෙකුට යම් දෙයක් හොඳින් සිදු කරන්නට හැකි වේවා කියා විශේෂයෙන්ම යම් ඉදිරිපත් කිරීමකට පෙර සුභ පැතීමේදී මේ යෙදුම භාවිතා කරන්න පුළුවන්. තවත් අයුරකින් කියනවා නම් ඉංග්‍රීසියෙන් “Good Luck” කියන සුභ පැතීමට සමාන අදහසක් තමයි මේ විශේෂ යෙදීමෙන් කියන්නේ.

Break a leg Sam, I know you will perform well.

සෑම් ඔබට සුභ පැතුම්. මම දන්නවා ඔබ හොඳින් ඉදිරිපත් කිරීම සිදු කරයි කියා

The best of both worlds

(ද බෙස්ට් ඔෆ් බෝත් වර්ල්ඩ්ස්)

මේ වචන කිහිපයේ සරල තේරුම නම් ලෝක දෙකේම හොඳම කියන එක. එත් මේ විශේෂ යෙදුමේ තේරුම නම් එකිනෙකට වෙනස් වූ අවස්ථාවන් දෙකක වාසිය එකම අවස්ථාවක අත් විඳිනවා කියන එක යන්නයි.

“Ann lives in a city and works in a village. She gets the best of both worlds.”

(ඈන් ජීවත් වන්නේ නගරයේ සහ රැකියාව කරන්නේ ගමක. ඇය ඒ දෙකම ප්‍රතිලාභ අත් විඳිනවා.)

Ring a Bell

(රින්ග් අ බෙල්)

Ring a bell කියන්නේ සීනුවක් වදිනවා කියන අදහස නම් නෙමෙයි. මෙයින් කියවෙන්නේ කවුරුන් හෝ ඔබට කියන දෙයක් ඔබට සමීප හෝ මින් පෙර ඔබ එය අසා ඇති බවයි. මේ වගේ සංවාදයකදී එය භාවිතා කරන්න පුළුවන්.

“Have you been to the grand cafe?”

(“ඔබ ග්‍රෑන්ඩ් කැෆේ එකට ගිහින් තියෙනවාද?”)

“That name Rings a Bell. Is it that coffee shop near the railway station?”

(ඒ නම මට හුරු පුරුදුයි. එය දුම්රිය නැවතුම්පල ළඟ තිබෙන කෝපි අවන්හලද?”)

Rule of Thumb

(රූල් ඔෆ් තම්බ්)

මේ විශේෂ යෙදුමේ අදහස නම් හැමෝටම පොදු සම්මතයක් වශයෙන් භාවිතා වන නීතියක් වැනි අදහසයි. මේවා නීති පොතේ ඇති ඒවා නෙමෙයි. සාමාන්‍යයෙන් මිනිසුන් විසින් විසින් මූලධර්ම මත පදනම්ව ඇති කරගත් ඒවායි. එමෙන්ම ඒවා සෑම අවස්ථාවකම ඇත්ත සහ අදාළ වන්නේ නැහැ.

“As a rule of thumb you should remove shoes before entering my house”

(මගේ නිවසට ඇතුළු වීමට ප්‍රථම ඔබ මූලික නීතියක් ලෙස සපත්තු ගැළවිය යුතුයි.)

Once in a blue moon

(වන්ස් ඉන් අ බ්ලූ මූන්)

නිල් පාටින් හඳක් පායන්නේ ඉතාම කලාතුරකින්. දශක ගණනාවකට පසුව. ඒ වගේම “Once in a blue moon” කියන්නේ ඉතාම කලාතුරකින් සිදුවන දෙයකට. අපි සිංහලෙන් කියන්නේ කණ කැස්බෑවා විය සිදුරින් අහස බලනවා කියලා ඒ වගේ තේරුමක් තමයි මේ විශේෂ යෙදුමෙන් අදහස් කරන්නේ.

“He visited his parents once in a blue moon”

(ඔහු ඔහුගේ දෙමාපියන් බැලීමට ගියේ ඉතාම කලාතුරකින්)

“Rain comes once in a blue moon in this area”

(මේ ප්‍රදේශයට වැස්ස වහින්නේ ඉතාම කලාතුරකින්)

Spill the beans

(ස්පිල් ද බීන්ස්)

Spill the beans කියන විශේෂ යෙදුමේ අදහස වන්නේ රහසක් හෙළි කරනවා යන්නයි.

“She trusts me completely. I can’t spill the beans”

(ඇය මාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා. මට ඒ රහස හෙළි කරන්න බැහැ)

Better late than never

(බෙට ලේට් දෑන් නෙව)

අපි හැමෝම දන්නවා හැමතිස්සෙම ප්‍රමාද වී පැමිණෙන පුද්ගලයෙක් හෝ කෙසේ හෝ ඕනෑම දෙයකට පැමිණෙන පුද්ගලයෙක්. මේ විශේෂ යෙදුමෙන් කියවෙන්නේ යම් කිසි දෙයකට නොගිහින් ඉන්නවාට ප්‍රමාද වී හෝ පැමිණෙන එක හොඳයි යන බව.

“Finally she is here. Better late than never.”

(අන්තිමට ඇය මෙතනට ඇවිත්. නෑවිත් ඉන්නවාට වඩා ප්‍රමාද වී හෝ පැමිණි එක හොඳයි”)

Beating around the bush

(බීටින් අරවුන්ඩ් ද බුෂ්)

අපි සිංහලෙන් කතා බහ කරද්දී සමහර වෙලාවල් වලදී කියනවා නේද “වටේ යන්නේ නැතුව කෙලින්ම කියන්න” කියලා. Beat around the bush කියන යෙදුමෙන් කියන්නෙත් ඒ වගේ අදහසක්. හරියටම වැදගත් කරුණ කෙලින්ම කියන්නේ නැතුව ඒක වටා යන එක වැනි තේරුමක් තමයි මේ යෙදුමේ තියෙන්නේ.

“Please stop beating around the bush and tell us what is going there”

(කරුණාකර වටේ යන එක නවත්තලා අපිට කියන්න එතන වෙන්නේ මොනවාද කියලා)

So far so good

(සෝ ෆා සෝ ගුඩ්)

මේ විශේෂ යෙදුම භාවිතා කරන්නේ ඒ අවස්ථාව දක්වා සියළුම දේ හොඳින් සිදුවෙනවා යන්න අදහස් කරන්නයි. බොහෝ විට කවුරුන් හෝ විමසන පැනයකට පිළිතුරු ලෙසත් මෙය පවසන්න පුළුවන්. මෙයින් සියළුම දේවල් එතෙක් සුභවාදී යන්න දැක්වෙනවා.

“How is your day?”

(ඔබේ දවස කොහොමද?”)

“My day is so far so good”

(“මගේ දවස මේ දක්වා ඉතා හොඳයි”)

Pull someone’s leg

(පුල් සම්වන්ස් ලෙග්)

මෙයින් කියන්නේ කාගේවත් කකුලෙන් අඳින්න කියලා නම් නෙමෙයි. එයින් අදහස් වෙන්නේ කවුරුන් සමඟ හෝ ඇත්ත නොවන දෙයක් කියා විහිළු තහළු කරනවා කියන එකයි. මෙයින් කියන්නේ යම් අයෙක් ඒ ඇත්ත නොවන දෙය පවසන්නේ මුළුමුනින්ම විහිළුවක් යන අදහසින් යන්නයි.

“He loves to pull someone’s leg in every conversation”

(ඔහු සෑම සංවාදයකදීම කවුරුන් සමඟ හෝ විහිළු කිරීමට ඉතා කැමතියි)

අපි දැන් මේ ලිපියෙන් කියලා දුන්නේ ඉංග්‍රීසි භාෂාවේ බහුලව භාවිතා වන “Idioms” 10ක් ගැනයි. ඔබට තවත් “Idioms” ගැන දැන ගන්න ඕනේ නම් https://www.ef.com/english-resources/english-idioms/ මේ ලිපිය කියවන්න. එහි තවත් “Idioms” රාශියක් සහ ඒවායේ තේරුම් අන්තර්ගත වනවා. මෙලෙස ඔබ වැඩි වශයෙන් ඉංග්‍රීසි විශේෂ යෙදුම් නැතිනම් “Idioms” ගැන දැන ගැනීම තුළින් ඉංග්‍රීසි කතා කිරීමේ දක්ෂයෙක් බවට ඔබ නිසැකයෙන්ම පත් වේවි.

යාළුවන්ටත් දැනගන්න share කරන්න.

 

Facebook Comments

0 Shares

Add comment