SayHello

ඉංග්‍රීසි කතාව දියුණු කරගන්න අත හිත දෙන “ටෝස්ට්මාස්ටර්ස්” සංගම්

0 Shares

ඕනෑම භාෂාවක් හොඳින් කතා කරන්න නම් අපි වැඩි වැඩියෙන් ඒ භාෂාවෙන් කතා කළ යුතුමයි. එවිට තමයි අපි ඒ භාෂාව වචන සහ ව්‍යාකරණ භාවිතා කරන හැටි, විවිධ අවස්ථාවන්ට අනුව සංවාදයේ යෙදෙන හැටි, පිරිසක් ඉදිරියේ කතා කරන හැටි ඉගෙන ගන්නේ. ඔබත් ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුරුදු වෙන කෙනෙක් විදිහට නිරන්තරයෙන් ඉංග්‍රීසියෙන් කතා කළොත් තමයි ලේසියෙන් හා ඉක්මනට ඉංග්‍රීසි කතාවේ දක්ෂයෙක් වීමට හැකි වන්නේ. ඔයා තනියෙම ඉංග්‍රීසි කතා කරනවාට වඩා තවත් පුද්ගලයන් සමඟ ඉංග්‍රීසි කතාවේ යෙදුනොත් වඩාත් ඵලදායි වෙනවා. දැන් ඔයාට හිතෙන්න ගනී එහෙම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් යාළුවෙක් මට නැහැ, නැත්තම් එහෙම යාළුවෙක් හිටියත් මට කතා කරන්න ලැජ්ජයි කියලා. එත් අපි ඔයාට කියනවා ඔයා තනි වෙලා නැහැ කියලා. ඔයා වගේම පිරිසක් ඉදිරියේ බය නැතුව ඉංග්‍රීසියෙන් කතා කරන්න වගේම පෞර්ෂත්ව සහ නායකත්ව ගුණාංග වර්ධනය කරගන්න උත්සාහ කරන අය එකතු වන සමාජ ලංකාව පුරාම අද වන විට තිබෙනවා. සමහර විට ඔයා මීට කළින් අහලත් ඇති. ඒ සංගම් වලට කියන්නේ “Toastmasters Club” නැත්තම් ටෝස්ට්මාස්ටර්ස් සංගමය කියලා.

කුමක්ද මේ ටෝස්ට්මාස්ටර්ස් සංගමයක් කියන්නේ?

ශ්‍රී ලංකාව ඇතුළු ලෝකය පුරා රටවල් 141 ක විසිරුණු ටෝස්ට්මාස්ටර්ස් සංගම් 16,400 ක් අද වන විට පවතිනවා. මේ සියළු සංගම් පවතින්නේ “Toastmasters International” කියන ඇමරිකා එක්සත් ජනපදය මූලිකව පවතින සංවිධානය යටතේයි.

එම සංවිධානයේ දැක්ම වන්නේ වඩාත් ඵලදායී සන්නිවේදකයන් සහ නායකයින් වීමට පුද්ගලයින් සවිබල ගැන්වීමයි. ඉංග්‍රීසි කතාවට බියක් දක්වන, එහෙත් ඉංග්‍රීසි කතාව වැඩි දියුණු කරගෙන හොඳ සන්නිවේදකයෙක් වීමට වුවමනාව තිබෙන ඕනෑම අයෙකුට ටෝස්ට්මාස්ටර්ස් සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම වටිනවා. ඔබ උසස් අධ්‍යාපනය හදාරණ ශිෂ්‍යයෙක් වුණත්, රැකියාවක නියත වන අයෙක් වුණත් ටෝස්ට්මාස්ටර්ස් සාමාජිකයෙක් වීම වැදගත් වනවා. එය ඔබව අන් අය අතරින් කැපී පෙන්වීමට සුදුසු කමක් වනවා.  

ඔබ වැනිම ඉංග්‍රීසි කතා කිරීමේ දක්ෂයෙක් වීමේ අරමුණ තිබෙන පුද්ගලයින් මේ ටෝස්ට්මාස්ටර්ස් සංගම්වල එකතු වී සිටින නිසා ඔබ වැනිම එකම අරමුණක් ඇති අය සමඟ එක්ව ඔබේ ඉංග්‍රීසි කතාව දියුණු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ටෝස්ට්මාස්ටර්ස් සංගම් වල රැස්වීම් වල තිබෙන්නේ ඉතාමත් මිත්‍රශීලී පරිසරයක්. කවුරුන් හෝ කතා කිරීමේදී වැරද්දක් සිදු කළත් කිසිවෙක් හිනා වෙන්නේ නම් නැහැ. ඒ වගේම ඕනෑම අයෙක්ට සහය වීම සඳහා පළපුරුදු සාමාජිකයන් ඉතා සතුටින් සැදී පැහැදී සිටිනවා. මේ මිත්‍රශීලී වාතාවරණය තුළ ඔබේ අඩු පාඩු හදාගනිමින් බියෙන් තොරව පිරිසක් ඉදිරියේ කතා කිරීමට ඔබට හැකියාව ලැබෙනවා. ටෝස්ට්මාස්ටර්ස් සංගම් වල කවුරුන්වත් ඔබට කතා කිරීමට බල කරන්නේ නැහැ. ඔබ කැමති නම් පමණක් කතා කළ හැකියි. හොඳ සන්නිවේදකයෙක් වීමට අමතරව ඔබේ පෞරුෂත්වය ගොඩනඟා ගැනීමටත් මේ සංගම් තුළින් ඔබට පුළුවන්.

ටෝස්ට්මාස්ටර්ස් සාමාජිකයෙක් වීමෙන් ලැබෙන වාසි මොනවාද?

ටෝස්ට්මාස්ටර්ස් වැඩසටහන් හා සම්බන්ධ වීම ඔබේ සන්නිවේදන සහ නායකත්ව නිපුණතා වර්ධනය කරන බවට ඔප්පු වී හමාරයි. ඉගෙන ගන්නා අයට ධනාත්මක සහ සහයෝගීත්වය දක්වන වටපිටාවක් එම සංගම් වල නිර්මාණය වී තිබෙන නිසා ඔබේ කතාව විශ්වාසයෙන් අන් අයට කීමට ඔබේ කටහඬ සොයාගැනීමට අවස්ථාව ලබා දෙනවා. අනෙකුත් අයගෙන් ලැබෙන නිරන්තර සහ හිතකර විවේචන නිසා ඔබේ අදහස් නිසි පරිදි සකසා ගැනීමට සහ පැහැදිලිව ඉදිරිපත් කිරීමට පුහුණුවක් ලැබෙනවා. ඒ වගේම පෞද්ගලික සහ වෘත්තියමය වර්ධනය සඳහා සීමා රහිත අවස්ථාවන් ඔබට ලබා ගන්න අවස්ථාව තිබෙනවා. ඔබට පිරිසක් ඉදිරියේ කතා කිරීම, සවන් දීමේ නිපුණතා, ඉදිරිපත් කිරීම් වලදී තාක්ෂණය භාවිතා කරන අයුරු සහ රැස්වීම් වලදී සහ සම්මන්ත්‍රණ වලදී ඵලදායීව සන්නිවේදනය කිරීම ආදී විවිධ මාතෘකා යටතේ අධ්‍යාපනික දැනුම අඩංගු සම්පත් ලබා ගැනීමටත් හැකි වනවා.    

ටෝස්ට්මාස්ටර් රැස්වීමක සිදු වන්නේ කුමක්ද?

ටෝස්ට්මාස්ටර්ස් සංගම්වල රැස්වීම් වල ව්‍යුහයක් තිබෙනවා. සංගමයේ සාමාජිකයන් එක් එක් රැස්වීම්වලදී විවිධ භූමිකාවන් (Roles) නිරුපණය කරනවා. ඒ භූමිකාවන් ගැන සඳහන් කරනවා නම්;

Toastmaster:

ටෝස්ට්මාස්ටර් යනු රැස්වීමේ අධ්‍යක්ෂවරයා සහ එය පවත්වාගෙන යන පුද්ගලයායි.

Ah-Counter:

 නැවත නැවත භාවිතා වන වචන සහ පිරවුම් වචන සටහන් කර ගනියි

Grammarian:

 රැස්වීමේ කථිකයන්ගේ ව්‍යාකරණ සහ වාග්මාලාව වැඩි දියුණු කරගැනීමට සහය වෙයි.

Timer:

රැස්වීම නිසි වේලාවට පවත්වාගෙන යෑමේ වගකීම දරන අතර රැස්වීමේ අංශ වලට සහ කථිකයන්ට නිසි පරිදි වේලාවන් ලබා දීම සිදු කරයි.

General Evaluator:

රැස්වීම තුළ සිදුවන සියළුම දේ ඇගයීමට ලක් කරයි.

Evaluator :

රැස්වීමේ කථිකයන් සඳහා ලිඛිත සහ වාචික ඇගයීම් ලබා දෙයි.

Topics master:

රැස්වීමේ Table Topics අංගය මෙහෙය වීම සහ පවත්වාගෙන යෑම සිදු කරයි

Meeting Speaker:

පෙර සූදානම් වූ කතාවක් පවත්වන කථිකයා, අනිත් සාමාජිකයන්ට ආදර්ශයක් ලෙස කතාව පවත්වයි

Table Topics Speaker:

Table Topics අංගයේදී පෙර සූදානමකින් තොරව පැමිණ එවෙලේ ලබාදෙන මාතෘකාවකට කතා කරන කථිකයින්

මෙලෙස එදිනට තමන්ට ලැබෙන භූමිකාවට අනුව රැස්වීමේදී කටයුතු සිදු කළ යුතුයි.

ටෝස්ට්මාස්ටර්ස් සංගම්වල රැස්වීම් පැවැත්වෙන්නේ එක ව්‍යුහයකට අනුවයි. සමහර දිනවලදී රැස්වීම් විවිධ තේමාවන්ට අනුවද පවත්වනු ලබයි. ප්‍රථමයෙන්ම රැස්වීම එදිනට Toastmaster භූමිකාව දරණ පුද්ගලයා විසින් ආරම්භ කරනු ලබනවා. ඉන් පසුව රැස්වීමේ අනෙකුත් භූමිකාවන් දරණ පුද්ගලයන් Toastmaster විසින් හඳුන්වා දෙනු ලබයි. Grammarian විසින් දවසේ වචනයක් ලබා දෙන අතර එය තම කතාවන් වලදී හැකි තාක් භාවිතා කරන ලෙස රැස්වීමට සහභාගී වන්නන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉන්පසු එළඹෙන්නේ “Round Robin” වටයයි. එහෙදී රැස්වීමට සහභාගී වන සියළුම දෙනා Toastmaster විසින් ලබාදෙන එක් මාතෘකාවකට අනුව තත්පර විස්සක් කතා කරනු ලබනවා. එහෙදී එක් කථිකයෙක් තත්පර 20 අවසානයේදී කතාව නවත්වන වචනයෙන් අනෙක් කථිකයා තම කතාව ආරම්භ කළ යුතු වනවා. මීළඟට පෙර සූදානම් වී පැමිණි කථිකයන්ගේ කතා පවත්වනු ලබනවා. ඉන් පසුව “Table Topics” වටය නැතිනම් පෙර සූදානමකින් තොරව කරන කතා වටය පැවැත්වෙනවා. එහෙදි ස්වේච්චාවෙන් තම කැමැත්තට අනුව කථිකයින්ට ඉදිරිපත් විය හැකියි. අවසානයෙදී Timer, Ah-Counter, Grammarian, Evaluators සහ General Evaluator භූමිකාවන් Toastmaster ගේ ආරාධනයෙන් ඉදිරියට පැමිණ ඔවුන්ගේ වාර්තාවන් ඉදිරිපත් කරන අතර ඉන් අනතුරුව මීළඟ රැස්වීම් වාරයේදී එම භූමිකාවන් සිදු කරන්නේ කවුරුන්ද යන්න තීරණය කර රැස්වීම අවසන් වෙයි. පහත වීඩියෝව නැරඹීම තුළින් ඔබට ටෝස්ට්මාස්ටර්ස් සංගමයක අත්දැකීම වඩාත් දැක ගැනීමට හැකි වේවි.

ටෝස්ට්මාස්ටර්ස් සංගමයක සාමාජිකයෙක් වන්නේ කෙසේද?

ගෝලීයව පැතිරුණු සාමාජිකයින් 352,000 අධික ප්‍රමාණයක් ටෝස්ට්මාස්ටර්ස් සංවිධානය හරහා වඩාත් හොඳ සන්නිවේදකයින් වීමට එක් වී සිටිනවා. අප රට තුළත් කොළඹ, නුවර, යාපනය, මාතර, අනුරාධපුර ආදී රට පුරා විවිධ ප්‍රදේශවල ටෝසට්මාස්ටර්ස් සංගම් පිහිටා තිබෙනවා. මීට අමතරව විවිධ කාර්යාල සහ සංවිධාන මඟින් පවත්වාගෙන යන ටෝස්ට්මාස්ටර්ස් සංගම් ද පිහිටා තිබෙනවා.  ටෝසට්මාස්ටර්ස් සංගම් ආකාර දෙකකින් පවතිනවා. “Open Clubs” එසේත් නැත්නම් ඕනෑම අයෙකුට සාමාජීකත්වය ගත හැකි විවෘත සංගම් සහ විවිධ නිර්ණායක වලට ගැළපෙන පුද්ගලයින්ට පමණක් සාමාජිකත්වය ලබාදෙන “Closed Clubs” ලෙසින්.  ටෝස්ට්මාස්ටර්ස් සංගමයේ සාමාජිකත්වය ලබාගැනීමට නම් වයස අවුරුදු 18 ට වැඩි විය යුතුයි. වයස අවුරුදු 18 ට අඩු අයට “Toastmasters International” යටතේම පවතින “Gavel Clubs” නැතිනම් ගැවල් සංගම් වල සාමාජිකත්වය ලබා ගත හැකියි. මෙම සංගම් වල රැස්වීම් සෑම සති දෙකකට වරක්ම පවත්වනවා. ඒවා පැය 1-2 අතර කාලයක් පැවැත්වෙනවා. ටෝස්ට්මාස්ටර්ස් සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට පෙර ඔබට පුළුවන් ඔබ ළඟම ඇති හෝ ඔබ කැමැත්ත දක්වන්න සංගමයකට ගොස් රැස්වීම් වාර දෙක තුනකට නොමිලේ සහභාගී වී එහි සිදුවන දේ බලන්න. මේ අයුරින් ඔබට ගැලපෙන ටෝස්ට්මාස්ටර්ස් සංගමය තෝරාගත හැකියි.

ඔබ ටෝස්ට්මාස්ටර්ස් සංගමයක සාමාජිකත්වය ලබා ගැනීමට තීරණය කිරීමෙන් අනතුරව එහි සාමාජීකත්වය පිළිබඳව කටයුතු කරන සංගමයේ උප සභාපතිවරයා හමු වීමෙන් එය ලබාගත හැකියි. ප්‍රථමයෙන්ම එක් වරක් පමණක් ගෙවිය යුතු නව සාමාජික මුදලක් ගෙවිය යුතුයි. ඉන් පසුව සාමාජිකත්වය සෑම මාස හයකට වරක් මුදල් ගෙවා අළුත් කළ යුතුයි. ඔබ සාමාජිකත්වය ලබාගැනීමෙන් පසු “Toastmasters International” වෙතින් ලබාදෙන අධ්‍යාපනික කට්ටලය හිමි වනවා. එහිදී ඔබට ලැබෙන අත්පොතට අනුකූලව කතාවන් පැවත්විය යුතුයි. ටෝස්ට්මාස්ටර්ස් සංගමයේ සාමාජිකත්වය ලබන සියළු දෙනා ප්‍රථමයෙන් පැවත්විය යුත්තේ “Ice Breaker Speech” නැතිනම් තමන් කවුද යන්න අනෙක් අයට හඳුන්වා දෙන කතාවක්. සමාන්‍යයෙන් විනාඩි 5-7 අතර කතාවක් පැවැත්විය යුතුයි. “Ice Breaker Speech” එකක් මොනවගේද කියලා පහත video වෙන් ඔයාලට බලන්න පුළුවන්. මේ අපේ රටේම ටෝස්ට්මාස්ටර්ස් සංගමයක කථිකයෙක් පැවැත් වූ කතාවක්;

මෙලෙස පළමු වන අත් පොත අවසන් කිරීමට කතා දහයක් පැවැත් විය යුතුයි. ඉන් අනතුරුව ඔබේ කැමැත්ත පරිදි ඊළඟ මට්ටම් සඳහා සහභාගී විය හැකියි.

ටෝස්ට්මාස්ටර්ස් සංගමයක සාමාජිකයෙක් වීම තුළින් ඔබට බොහෝ ප්‍රතිලාභ ලබා ගත හැකි බව ඔබට දැන් වැටහෙනවා ඇති. ඉංග්‍රීසි කතාව හදාගන්න උත්සාහ කරන්නෙක් වශයෙන් එවැනි තවත් අය එක් රැස් වන ටෝස්ට්මාස්ටර්ස් සංගමයක සාමාජිකයෙක් වීමට ඔබ පමා වන්න එපා. එය ඔබේ අනාගතය හදාගන්න ලොකු ආයෝජනයක් වනවාට සැක නැහැ. ඔබට ළඟම ඇති ටෝස්ට්මාස්ටර්ස් සංගමය ගැන අන්තර්ජාලය ඔස්සේ සෙවීම තුළින් ඔබට දැන ගැනීමට පුළුවන්.  එසේත් නැතිනම් මේ link එකින් https://www.toastmasters.org/find-a-club ඔබට ළඟම පිහිටා ඇති සංගමය සොයා ගන්න. ටෝස්ට්මාස්ටර්ස් සංගම් ගැන තව දුරටත් වැඩි විස්තර දැන ගන්න  “Toastmasters International” වෙබ් අඩවියට මේ තුළින් https://www.toastmasters.org පිවිසෙන්න.

Facebook එකේ “Toastmasters of Sri Lanka” search කරාම ලංකාවේ Toastmasters සංගම් වල Groups සහ Pages බලා ගන්න පුළුවන්.

ඔබේ යාළුවන්ටත් දැනගන්න Share කරන්න

Facebook Comments

0 Shares

Add comment