SayHello

ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්නයකට සම්පූර්ණ පිළිතුරු දෙන ආකාරය ඉගෙන ගනිමු

841 Shares

ඉංග්‍රීසි භාෂාවෙන් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවාම බොහොමයක් අය පිළිතුරු දෙන්නේ “yes” එහෙම නැත්තම් “no” කියලා. ගොඩක් වෙලාවට මෙහෙම පිළිතුරු දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් සම්පූර්ණ පිළිතුර දෙන්න දන්නේ නැති නිසා ඇඟ බේරාගන්න. ඒ වුණාට මේ වගේ ඉතා කෙටි පිළිතුරැ දෙන එක සාමාන්‍යයෙන් ආචාරශීලී වෙන්නේ නම් නැහැ. සමහර වෙලාවට ඔබ ප්‍රශ්නය අහන පුද්ගලයා ගණන් ගන්නේ නැති බවක් මේ තුළින් ඇඟ වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා හැම විටම කවුරුන් හෝ ඔයාගෙන් ඉංග්‍රීසියෙන් ප්‍රශ්නයක් අහුවම සම්පූර්ණ පිළිතුර දෙන්න උත්සාහ කරන්න. මුලින් ටිකක් අමාරුයි වගේ වුණාට පහු වෙනකොට ඔයාට ඒක ඉබේටම පුරුදු වෙයි. අපි මේ ලිපියෙන් ඔබට කියලා දෙන්න යන්නේ කොහොමද ඉංග්‍රීසි භාෂාවෙන් අහන ප්‍රශ්න වලට සම්පූර්ණ පිළිතුරු දෙන්නේ කියලා.

 

ඉංග්‍රීසි භාෂාවේදී ආචාරශීලීව පිළිතුරු දෙන්න සම්පූර්ණ පිළිතුරු ලබා දෙන්න ඕනේ බව දැන් ඔබ දන්නවා. දැන් ඔබ හිතනවා ඇති මම හරියට ඉංග්‍රීසිවත් දන්නේ නැතුව කොහොමද සම්පූර්ණ පිළිතුරු ලබා දෙන්නේ කියලා. ඒත් ඔබ දන්නවා ද ඉංග්‍රීසි භාෂාවෙන් අහන ප්‍රශ්න වලට සම්පූර්ණ පිළිතුරු ලබා දෙන එක ලේසි කියලා? ඒ මොකද ගොඩක් වෙලාවට ඒ අහන ප්‍රශ්නෙම පිළිතුරත් සැඟවිලා තිබෙන නිසා. මෙහෙම කියමු, දැන් සිංහලෙන් ඔයාගෙන් කවුරු හරි ප්‍රශ්නයක් අහනවා;

“ඔයා චොක්ලට් වලට කැමතිද?”

දැන් ඔයා මේ ප්‍රශ්නෙට ආචාරශීලීව සම්පූර්ණ පිළිතුරක් දෙනවා නම් කියන්න ඕනේ;

“ඔව්, මම චොක්ලට් වලට කැමති” කියලා

දැන් අපි මේකම ඉංග්‍රීසියෙනුත් කියලා බලමු එතකොට එන්නේ කොහොමද කියලා;

“Do you like chocolates?” – ඩු යූ ලයික් චෝක්ලට්ස්?

“Yes, I like chocolates” – යස්, අයි ලයික් චෝක්ලට්ස්

දැන් බලන්න මෙතන අහපු ප්‍රශ්නයේ තිබෙන වචන වලින් ඔයාගේ පිළිතුරේදී අළුතෙන් එකතු වෙන්නේ “Yes” – ඔව්, “I” – මම කියන වචන විතරයි. අනිත් ඔක්කොම ප්‍රශ්නයේ අහපු විදිහටම තියෙනවා. ප්‍රශ්නය අහන්නේ ඔයාගෙන් නිසා “you” කියලා කියද්දී පිළිතුර දෙන්නේ ඔයා නිසා “I” කියලා යොදාගන්නවා. දැන් දැක්කා නේ, “yes” කියලා විතරක් උත්තර දෙන්නේ නැතුව ප්‍රශ්නයකට සම්පූර්ණ පිළිතුර දෙන්නේ කොහොමද කියලා.

අපි දැන් බලමු ඉංග්‍රීසි භාෂාවේදී ප්‍රශ්නයක් අහන්න පුළුවන් විවිධ විධි සහ ඒවාට සම්පූර්ණ පිළිතුරු සපයන ආකාරය කොහොමද කියලා.

Yes/No ලෙස පිළිතුරු දිය හැකි ප්‍රශ්න

මෙවැනි ප්‍රශ්න හා ඒවාට දිය හැකි සම්පූර්ණ පිළිතුරු සඳහා උදාහරණ කිහිපයක් අපි ඉස්සෙල්ලාම බලමු

ප්‍රශ්නය – Can you sing? – ඔබට ගීත ගායනා කළ හැකිද?
(කැන් යූ සින්ග්?)
පිළිතුර – No, I can’t sing – නැහැ, මට ගීත ගායනා කිරීමට නොහැකියි.
(නෝ, අයි කාන්ට් සින්ග්)

ප්‍රශ්නය – is he an actor? – ඔහු නළුවෙක් ද?
(ඊස් හී ඇන් ඇක්ටර්?)
පිළිතුර – Yes, he is an actor – ඔව්, ඔහු නළුවෙක්
(යස්, හී ඊස් ඇන් ඇක්ටර්)

ප්‍රශ්නය – Have you seen my phone? – ඔබ මගේ දුරකථනය දැක්කද?
(හැව් යූ සීන් මයි ෆෝන්?)
පිළිතුර – No, I haven’t seen your phone – නැහැ, මම ඔබේ දුරකථනය දැක්කේ නැහැ
(නෝ, අයි හැවන්ට් සීන් යුවර් ෆෝන්)

ප්‍රශ්නය – Do they know me? – ඔවුන් මාව දන්නවාද?
(ඩු දේ නෝ මී?)
පිළිතුර – Yes, they know you. – ඔව්, ඔවුන් ඔබව දන්නවා.
(යස්, දේ නෝ යූ)

ප්‍රශ්නය – Does she drink tea? – ඇය තේ බොනවාද?
(ඩස් ශී ඩ්‍රින්ක් ටී?)
පිළිතුර – No, she doesn’t drink tea. – නැහැ, ඇය තේ බොන්නේ නැහැ.
(නෝ, ශී ඩසන්ට් ඩ්‍රින්ක් ටී)

ඉහත සඳහන් කරපු උදාහරණ වලින් දැන් ඔබට පේනවා ඇති Yes/No ලෙස පිළිතුරු දිය හැකි ප්‍රශ්න සඳහා සම්පූර්ණ පිළිතුරු දෙන්නේ කොහොමද කියලා. එය ඉතාම පහසුයි. ඔබට තිබෙන්නේ එහි තිබෙන රටාව අල්ලගන්න පමණයි. මෙවැනි ප්‍රශ්නයක් ඔබෙන් කවුරුන් හෝ ඇහුවාම ඔබ පිළිතුර සකසා ගනිද්දී ඉස්සෙල්ලාම කරන්න ඕනේ පිළිතුරු වාක්‍යයේ මුලට ප්‍රශ්නයට ගැළපෙන පරිදි “Yes” හෝ “No” යන වචනය යොදා ගැනීමයි. ඊළඟට ප්‍රශ්නය අහපු වාක්‍යයේම තියෙන වචන පිළිතුරට ගැළපෙන ලෙස සකසලා පිළිතුර ලබාදෙන්න. ඒ විදිහට වචන සකසන ආකාරය ගැන අදහසක් ඔබට මෙහි තිබෙන උදාහරණ වලින් ඔයාට ලබාගන්න පුළුවන්.

ප්‍රශ්නාර්ථ වචන සහිත ප්‍රශ්න

සිංහලෙන් අපි කවුද, කොහේද, කවදද වගේ වචන ප්‍රශ්න අහනවා නේද? මේවා ඉංග්‍රීසියෙන් අහන්නේ “What”, “Where”, “When” වැනි වචන යොදාගෙන. අපි එවැනි වචන වලට තමයි ප්‍රශ්නාර්ථ කියන්නේ. ඉංග්‍රීසි භාෂාවේ ප්‍රශ්නාර්ථ ලෙස ‘what’, ‘where’, ‘when’, ‘why’, ‘who’, ‘which’, ‘how’, ‘how much’, ‘how many’ යන වචන භාවිතා කරනවා. අපි දැන් බලමු මේ වචන යොදාගෙන අහන වාක්‍ය වලට පිළිතුරු දෙන්නේ කොහොමද කියලා.

ප්‍රශ්නය – What is your name? – ඔබේ නම කුමක්ද?
(වට් ඊස් යුවර් නේම්?)
පිළිතුර – My name is Saman – මගේ නම සමන්
(මයි නේමේ ඊස් සමන්)

ප්‍රශ්නය – Where do you work? – ඔබ රැකියාව කරන්නේ කොහේද?
(වෙයාර් ඩු යූ වර්ක්?)
පිළිතුර – I work at a restaurant – මම රැකියාව කරන්නේ අවන්හලක.
(අයි වර්ක් ඇට් අ රෙස්ටුරන්ට්)

ප්‍රශ්නය – When is the company trip? – සමාගම් චාරිකාව කවදාද?
(වෙන් ඊස් ද කම්පැනි ට්‍රිප්?)
පිළිතුර – Company trip is on next Sunday – සමාගම් චාරිකාව ලබන ඉරිදා
(කම්පැනි ට්‍රිප් ඊස් ඔන් නෙක්ස්ට් සන්ඩේ)

ප්‍රශ්නය – Why are you going home early? – ඇයි ඔබ වේලාසනින් ගෙදර යන්නේ?
(වයි ආර් යූ ගොයින් හෝම් අර්ලි?)
පිළිතුර – I’m going home early because I’m not feeling well. – මට සනීප නැති නිසා
මම වේලාසනින් ගෙදර යනවා.
(අයිම් ගොයින් හෝම් අර්ලි බිකොස් අයිම් නොට් ෆීලින් වෙල්)

ප්‍රශ්නය – Who are they? – ඔවුන් කවුරුද?
(හූ ආර් දේ?)
පිළිතුර – They are my students – ඔවුන් මගේ ශිෂ්‍යයන්
(දේ ආර් මයි ස්ටුඩන්ට්ස්)

ප්‍රශ්නය – Which countries did you visit? ඔබ ගියේ කුමන රටවල් වලටද?
(විච් කන්ට්‍රීස් ඩිඩ් යූ විසිට්?)
පිළිතුර – I visited all the European countries – මම සියළුම යුරෝපීය රටවලට ගියා.
(අයි විසිටඩ් ඕල් ද යුරෝපියන් කන්ට්‍රීස්)

ප්‍රශ්නය – How are you feeling now? – ඔබට දැන් කොහොමද?
(හව් ආර් යූ ෆීලින් නව්?)
පිළිතුර – I’m feeling better now – මට දැන් පෙරට වඩා හොඳයි
(අයිම් ෆීලින් බෙටර් නව්)

ප්‍රශ්නය – How much is this dress? – මේ ගවුම කීයද?
(හව් මච් ඊස් දිස් ඩ්‍රෙස්?)
පිළිතුර – This dress costs 2000 rupees – මේ ගවුම රුපියල් 2000ක් වෙනවා
(දිස්ඩ්‍රෙස් කොස්ට්ස් ටූ තවුසන් රුපීස්)

ප්‍රශ්නය – How many times has she written to him? කොපමණ වතාවක් ඇය ඔහුට ලියා
තිබෙනවාද?
(හව් මෙනි ටයිම්ස් ශී හෑස් රිටන් ටු හිම්)
පිළිතුර – She has written to him several times – ඇය ඔහුට කිහිප වතාවක් ලියා තිබෙනවා
(ශී හෑස් රිටන් ටු හිම් සේවරල් ටයිම්ස්)

ප්‍රශ්නාර්ථ යොදාගෙන අහන ප්‍රශ්න වලදීත් ප්‍රශ්නයේ ඇති වචනම පිළිතුරු සඳහාත් යොදාගෙන ඇති ආකාරය මේ උදාහරණ දිහා බැලුවාම ඔබට දැන් පැහැදිලි වෙනවා ඇති. මෙවැනි ප්‍රශ්න සඳහා පිළිතුරු දීමේදී ඔබ නැවතත් ප්‍රශ්නාර්ථ වචනය (උදා: What, How, Who වැනි වචන) යොදාගන්නේ නැහැ. එහෙත් එම ප්‍රශ්නාර්ථයෙන් පසුව තිබෙන අනෙකුත් වචන යොදාගන්න පුළුවන්. ඒ වචන ඔබ පිළිතුර සකස් කරද්දී ගැළපෙන ලෙස යොදාගන්න. එවිට ඔබට පහසුවෙන් ඉංග්‍රීසි ප්‍රශ්නයක් සඳහා පිළිතුරක් සාදාගන්න හැකියි.

දැන් ඔබට වැටහෙනවා නේද ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්නයක් අහද්දී ආචාරශීලීව පිළිතුරු දෙන්න සම්පූර්ණ වාක්‍යය යොදාගන්නේ කොහොමද කියලා. ප්‍රශ්න සඳහා පිළිතුරු දෙන රටාව අල්ලගත්තාම ඔයාටත් පහසුවෙන් ඕනෑම් ඉංග්‍රීසි ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම මෙලෙස ආචාරශීලීව ප්‍රශ්නයකට සම්පූර්ණ පිළිතුර ලබා දීම ඔබට රැකියා ස්ථානයේදී බෙහෙවින් වැදගත් වනවා. ඒ නිසා ඔබත් මේ ලිපිය ආශ්‍රයෙන් ඉංග්‍රීසි ප්‍රශ්න සඳහා සම්පූර්ණ පිළිතුරු ලබාදීම පුරුදු පුහුණු වන්න. ටික දවසක් යන විට ඔබට එය නිරායාසයෙන්ම හුරු වේවි.

යාළුවන්ටත් දැනගන්න මේ ලිපිය share කරන්න.

Selected images are extracted from Pexels.com

841 Shares

Facebook Comments

Add comment