SayHello

උත්සවයකදී/සම්මන්ත්‍රණයකදී ඉංග්‍රීසියෙන් කතා කරන්නේ කොහොමද?

0 Shares

ඔබගේ ආයතනය නියෝජනය කරමින් උත්සව අවස්ථාවකට සහභාගී වීමට සිදු වීම රැකියාවේදී කිරීමට සිදුවන සාමාන්‍ය දෙයක්. එහෙම නැත්නම් ඔබට වෙනත් විවිධ ආකාරයේ උත්සව වලට සහභාගී වීමට සිදු වන්නත් පුළුවන්. එවන් අවස්ථාවලට බොහෝවිට සහභාගී වන්නේ ඔබ හඳුනන්නේ නැති පුද්ගලයින්. අමුත්තන්ගෙන් පිරුණු ශාලාවකට පිවිසෙන එක බොහෝ දෙනෙක් ටිකක් අදි මදි කරන කාරණයක්. එහෙත් ඔබ හැමතිස්සෙම හිතේ තබාගත යුතු දෙයක් තමයි ඔබ අමුත්තෙක් අසලට ගොස් “ආයුබෝවන්, මම… (ඔබේ නම සහ තොරතුරු). ඔබව හමුවීම සතුටක්” එහෙමත් නැතිනම් ඉංග්‍රීසියෙන් “Hello. I’m so-and-so. Nice to meet you.” යැයි පැවසුවොත් ඔවුන් කවුරුවත් ඔබව පන්නා දමන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඔවුන් සතුටු වේවි වෙන අයෙක් සංවාදය ආරම්භ කිරීම සම්බන්ධයෙන්. ඔබ ඒ කාමරයේ සිටින කිසිම කෙනෙක් හඳුනන්නේ නැහැ කියා තැවෙන්න එපා.

“Networking” එහෙමත් නැත්තම් ජාලකරණය යන්නෙහි අදහස අළුත් පුද්ගලයින් හඳුනාගැනීමයි. කොහොම වුණත් එම කාමරයේ සිටින හැම පුද්ගලයෙක්ටම ඔබත් එක්ක පොදු දේවල් කිහිපයක් තිබෙනවා. උදාහරණ ලෙස ගත්තොත්, ඔබ සහභාගී වන උත්සව අවස්ථාව, එම උත්සවය පැවැත්වෙන ස්ථානය, ඔබ පරිභෝජනය කරන කෑම බීම. මෙම දේවල් ඔබට හැමතිස්සෙම සංවාදයක් ආරම්භ කිරීමට යොදාගන්න පුළුවන්. එයින් ඔබට ලැබෙන ප්‍රති උත්තර වලට අනුව සංවාදය ඔබට කැමති ආකාරයට ඉදිරියට පවත්වාගෙන යා හැකියි. මෙම ලිපිය තුළින් අපි කියලා දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කොහොමද උත්සව අවස්ථාවකට ගියාම අනෙකුත් අමුත්තන් සමඟ එකිනෙකට මුසු වන්නේ කියලා.

නාඳුනන පුද්ගලයින් රැසකින් පිරුණු උත්සවයකදී සංවාදයක් ආරම්භ කිරීමට පියවර 4ක් තිබෙනවා.

1. කතාවට අවස්ථාවක් ලබා ගැනීම

2. කතාවට ආරම්භයක් ගැනීම

3. සංවාදය පවත්වාගෙන යෑම

4. කතාව අවසන් කිරීම

මෙම පියවර අනුගමනය කරන ආකාරය ගැන උදාහරණ කිහිපයක් අපි බලමු.

කතාවට අවස්ථාවක් ලබා ගැනීම

ප්‍රථමයෙන්ම ඔබ ශාලාව පුරාම ඇස් යොමු කර ඔබට කතා කරන්න අවශ්‍ය පුද්ගලයන් තෝරාගන්න. සමහරවිට තනියම සිටින පුද්ගලයෙක්ට කතා කරන එක වඩාත් පහසු වේවි.
එතනට ගිහින් ඔබව හඳුන්වා දීමට බිය වන්න එපා. ගොඩක් අවස්ථාවලදී බොහෝ දෙනෙක් සිතමින් සිටින්නේ වෙන කෙනෙක් ඇවිත් ඔවුන් සමඟ සංවාදයක් ආරම්භ කරයි කියලා. ඒ නිසා ඔබ කතාව පටන් ගත්තොත් ඔවුන් බොහෝ සතුටු වෙයි වගේම කැමැත්තෙන් කතාව ආරම්භ කරයි.

මේ තියෙන්නේ ඔබට සංවාදයක් පටන් ගන්න අවස්ථාවක් ලබාගද්දී ඉංග්‍රීසියෙන් කතා කරන්නේ කොහොමද කියලා.

Hello, I’m Sahan

(හෙලෝ, අයිම් සහන්)
ආයුබෝවන්, මම සහන්

මෙය ඉතා සරල වාක්‍යයක්. ඒ නිසාම තමයි මෙය ඔබ යොදාගත යුත්තේත්. යම් අයෙක්ට හෙලෝ කියන එක හැම තිස්සෙම කතාවකට අවස්ථාවක් ලබා ගන්න හොඳ විදිහක්. ආත්ම විශ්වාසයෙන් යුතුව කතා කරන්න.

Mind if I join you?

(මයින්ඩ් ඉෆ් අයි ජොයින් යූ?)
මමත් සම්බන්ධ වුණාට කමක් නැද්ද?

උත්සව අවස්ථාවලදී සහභාගිවන්නන්ට වාඩි වෙලා කතා කරන්න, කෑම ගන්න මේස පුටු තිබෙනවා. ඔබට කතා කරන්න අවශ්‍ය පුද්ගලයා තෝරා ගෙන ඉහත ආකාරයට පවසා ඒ පුද්ගලයා සිටින මේසයට එකතු වන්න.

ඔබ පුද්ගලයන් කණ්ඩායමකට එකතු වෙන්න යනවා නම් මේ ආකාරයට කතාව පටන් ගන්න පුළුවන්.

You guys seem to be having some fun… mind if I join you?

(යූ ගයිස් සීම් ටු බී හැවින් සම් ෆන්…. මයින්ඩ් ඉෆ් අයි ජොයින් යූ?)
ඔබලා විනෝද වනවා වගෙයි. මමත් සම්බන්ධ වුණාට කමක් නැද්ද?

විනෝදයෙන් සිටින පිරිසකට එකතු වෙන්න මේ ආකාරයෙන් පුළුවන්.

Hi guys, I’m Aruni… How do you all know each other?

(හායි ගයිස්, අයිම් අරුණි… හව් ඩු යූ ඕල් නෝ ඊච් අදර්?)
ආයුබෝවන් කට්ටියටම, මම අරුණි… ඔබලා එකිනෙකා හඳුනන්නේ කොහොමද?

ඔබට හැඟෙනවා නම් යම් කිසි කණ්ඩායමක් ඉන්න පුද්ගලයින් එකිනෙකා හඳුනනවා කියා ඉහත වාක්‍යය භාවිතා කරන්න පුළුවන්.

කතාවට ආරම්භයක් ගැනීම

ඔබ කතාවට අවස්ථාවක් ලබාගත්තට පසුව අනෙක් පුද්ගලයාට ඔබ ගැන කෙටි හැඳින්වීමක් කරන ගමන් උත්සව අවස්ථාවට අදාළ දේවල් ගැනත් කතා කරන්න.

I work for the ABC bank as an assistant manager

(අයි වර්ක් ෆෝ ද ඒබීසී බෑන්ක් ඈස් ඇන් ඇසිස්ටන්ට් මැනේජර්)
මම ඒබීසී බැංකුවේ රැකියාව කරනවා සහකාර කළමනාකරුවෙක් වශයෙන්

Did you try this salad? It’s delicious

(ඩිඩ් යූ ට්‍රයි දිස් සැලඩ්? ඉට්ස් ඩිලීෂියස්)
ඔබ මේ සැලඩ් එක කාලා බැලුවද? ඒක ඉතා රසවත්

ඔබට සංවාදය ආරම්භ කිරීමට ඒ අමුත්තාගෙන් හෝ එම පිරිසගෙන් ඔවුන්ගේ විස්තරත් විමසා දැනගන්න පුළුවන්

What do you do?

(වට් ඩු යූ ඩු?)
ඔබ කරන්නේ මොනවාද?

යම් කෙනෙක්ගේ රැකියාව ගැන අහන්න මේ වාක්‍ය යොදාගන්න පුළුවන්. ඔබ රැකියාවට අදාළ උත්සව අවස්ථාවකට නම් සහභාගී වන්නේ මෙය අනිවාර්යයෙන්ම යොදාගත හැකියි.

What did you think about the speaker/conference?

(වට් ඩු යූ තින්ක් අබවුට් ද ස්පීකර්/කොන්ෆරන්ස්?)
ඔබ කථිකයා/සමුළුව ගැන කුමක්ද හිතන්නේ?

What projects do you have lined up?

(වට් ප්‍රොජෙක්ට්ස් ඩු යූ හෑව් ලයින්ඩ් අප්?)
කුමන ව්‍යාපෘති ද ඔබට ඉදිරියේදී කරන්න තියෙන්නේ?

ඔබ වෘත්තීමය උත්සව අවස්ථාවකට සම්බන්ධ වනවා නම් ඔබේ අමුත්තා ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘති ගැන මෙලෙස අසා දැනගන්න පුළුවන්.

සංවාදය පවත්වාගෙන යෑම

ඔබ මේ ලෙසට ආරම්භ කළ සංවාදය දිගටම පවත්වාගෙන යෑමත් වැදගත්. ඔබට සංවාදය පවත්වාගෙන යෑමට එදිනෙදා දේවල්, ක්‍රීඩා, කාලගුණය, කාලීන තොරතුරු ආදී දේවල් ගැන කතා කරන්න පුළුවන්.

Did you watch the match yesterday? What did you think about it?

(ඩිඩ් යූ වොච් ද මැච් යස්ටර්ඩේ? වට් ඩිඩ් යූ තින්ක් අබවුට් ඉට්?)
ඔබ ඊයේ ක්‍රීඩා තරඟය නැරඹුවාද? ඒ ගැන ඔබ හිතන්නේ කුමක්ද?

So, how did you hear about this event?

(සෝ, හව් ඩිඩ් යූ හියර් අබවුට් දිස් ඉවෙන්ට්?)
ඉතිං, ඔබ කොහොමද මේ උත්සවය ගැන දැනගත්තේ?

ඔබට කැමති නම් ඔබ අළුතින් හඳුනාගත් පුද්ගලයාගේ දෙයක් අගය කරන්න මේ විදිහට පුළුවන්.

I like your (watch/shoes/necklace/handbag/phone etc)…

(අයි ලයික් යුවර් (වොච්/ෂූස්/නෙක්ලස්/හෑන්ඩ්බෑග්…..)
මම ඔබේ (අත් ඔරලෝසුවට/සපත්තු වලට/මාලයට/අත් බෑගයට/ ජංගම දුරකථනයට……..) කැමති.

කතාව අවසන් කිරීම

ඔබේ සංවාදය ඉදිරියට යන්නේ නැහැ වගේ නම් එය බලෙන් පවත්වාගෙන යෑමට උත්සාහ කරන්න එපා. මතක තබා ගන්න ඔබ මෙම උත්සවයට ආවේ එක් අයෙක් සමඟ පමණක් කතා කරන්න නෙමෙයි. ඔබට හැකි තරම් අළුත් පුද්ගලයන් හඳුනාගෙන සබඳතා ගොඩනගා ගන්න. ඔබ දැන් පවත්වාගෙන යන සංවාදය අවසන් කොට යෑමට කැමති නම් හෝ ඔබ එම උත්සවයෙන් පිටව යෑමට සූදානම් වනවා නම් මෙම වාක්‍ය උත්සාහ කොට බලන්න.

Alright, I’m going to get some food now. It was great meeting you

(ඕල් රයිට්, අයිම් ගොයින් ටු ගෙට් සම් ෆුඩ් නව්. ඉට් වෝස් ග්‍රේට් මීටින්ග් යූ)
එහෙනම් මම දැන් කෑම ටිකක් බෙදාගන්න යනවා. ඔබව හමුවීම සතුටක්

Well, I think it’s time for me to head out. I would love to talk with you again, though. May I have your card/contact information?

(වෙල්, අයි තින්ක් ඉට්ස් ටයිම් ෆෝ මී ටු හෙඩ් අවුට්. අයි වුඩ් ලව් ටු ටෝක් ටු යූ අගේන්, දෝ. මේ අයි හෑව් යුවර් කාර්ඩ්/කන්ටෑක්ට් ඉන්ෆෝමේෂන්?)
එහෙනම්, මම හිතනවා දැන් මට පිටවන්න කාලය හරි. එත් මම ඔබත් සමඟ නැවත කතා කරන්න කැමති. ඔබගේ ව්‍යාපාරික කාඩ්පත හෝ ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු දෙන්න මට දෙන්න පුළුවන්ද?

OK then, I have some work pending at office. Enjoy the rest of the event

(ඕකේ දෙන්, අයි හෑව් සම් වර්ක් පෙන්ඩින් ඇට් ඔෆිස්. එන්ජෝයි ද රෙස්ට් ඔෆ් ද ඉවෙන්ට්)
හරි එහෙනම්, මට රැකියා ස්ථානයේ කළ යුතු රාජකාරී වගයක් තිබෙනවා, උත්සවයේ ඉතුරු ටික විනෝද වන්න.

මේ ආකාරයට ඔබට පුළුවන් ඔබ හඳුනන්නේ නැති පුද්ගලයන් සිටින උත්සවයකට සහභාගී වූ විට ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරලා සංවාදයක් ගොඩනඟා ගන්න. මේ වගේ උත්සව අවස්ථාවක ඔබ අමුත්තන් හා සබඳතා ගොඩනඟා ගන්නා ආකාරය හා කතා බහ කරන ආකාරය තවත් වැඩි දියුණු කරගන්න අවශ්‍යයි නම් මේ වීඩියෝව නරඹන්න.

මෙලෙස උත්සව අවස්ථාවන් වලට මුහුණ දීම තුළින් ඔබේ පෞර්ෂත්වය ගොඩනඟා ගැනීමටත් පුළුවන්. ඔබට ඉංග්‍රීසි ඉතා හොඳින් කතා කරන්න බැහැ කියා පසු බට වෙන්න එපා. මොකද මෙවන් අවස්ථාවල සියළු දෙනාම පාහේ ඉතා සරල වචන සහ වාක්‍ය යොදාගෙනයි කතා කරන්නේ. ඒ නිසා ඉංග්‍රීසි කතාවට ආධුනිකයෙක් වශයෙන් ඔබටත් ඔවුන් සමඟ පහසුවෙන් කතා කරන්න පුළුවන්. ඒ නිසා මේ වගේ උත්සව අවස්ථාවන්ට ඔබ නිතර සහභාගී වන්න.

යාළුවන්ටත් දැනගන්න  මේ ලිපිය share කරන්න

Selected images extracted from Pexels.com

Facebook Comments

0 Shares

Add comment