SayHello

ඉංග්‍රීසි ඉගෙන ගැනීම දින චර්යාවේ කොටසක් කරගන්නේ කෙසේද?

0 Shares

ඕනෑම දෙයක් අපේ දින චර්යාවේ කොටසක් කරගත්තාම අපි ඒ දෙයට හුරු පුරුදු වෙනවා. අපි කුඩා කාලේ ඉඳන්ම සිංහලෙන් කතා කරන නිසා සිංහල කතා කරන එක අපි ඉබේම කරන දෙයක්. ඒත් ඉංග්‍රීසි කියන්නේ අපිට එතරම් හුරු නැති දෙයක් නිසා ඒක අමාරු කටයුත්තක් කියා හිතෙනවා. එත් ඉංග්‍රීසි වලටත් අපි සමීප වුණොත් ඉංග්‍රීසි භාෂාවේ දක්ෂයෙක් වෙන එක එතරම් අසීරු කර්තව්‍යයක් නෙමෙයි. මෙවර ලිපියෙන් අපි කියලා දෙන්නේ ඉංග්‍රීසි ඉගෙන ගැනීම ඔබේ දින චර්යාවේ කොටසක් කරගන්නේ කොහොමද කියලා. අපි මෙහි කියා දෙන පියවරවල් ඔබට එදිනෙදා ඕනෑම තැනක සිට ස්මාර්ට් දුරකතනයක් ඔස්සේත් කරන්න පුළුවන් වීම විශේෂත්වයක්. අපි දැන් බලමු එම පියවර මොනවාද කියලා.

1. ඔබ කැමති ක්ෂේත්‍රයක් තෝරාගන්න

අපි එක එක්කෙනා කැමති විවිධ ක්ෂේත්‍ර තිබෙනවා. සමහරු  කැමතියි අළුත් අළුත් තාක්ෂණික මෙවලම් ගැන දැනගන්න. තවත් අය ඉවුම් පිහුම්, රුපලාවන්‍ය වැනි දේවල් ගැන දැනගන්න කැමති. ඒ වගේම තමන් රැකියාව කරන ක්ෂේත්‍රයට අදාළ අළුත් අළුත් දේවල් හෝ එදිනෙදා රටේ ලෝකයේ සිදුවන දේවල්, අළුත් චිත්‍රපට, සංගීත ක්ෂේත්‍රය ගැන වැනි ඔබ දැඩි කැමැත්තක් දක්වන ක්ෂේත්‍රයක් වගේම දිනපතා එහි තොරතුරු ගැන දැනගන්න කැමති ක්ෂේත්‍රයක් තෝරාගන්න. මේ ක්ෂේත්‍රය නිවැරදිව තෝරාගැනීම ඉතා වැදගත්.මොකද ඔබ වැඩිය කැමති නැති ක්ෂේත්‍රයක් තෝරාගත්තොත් අපි මේ කියන්න යන ඊළඟ පියවරවල් ඔබ දිගටම සිදු කරන එකක් නැහැ. ඒ නිසා ඔබ කැමතිම දිනපතා කියවීමට ආසා කරන ඕනෑම ක්ෂේත්‍රයක් තෝරාගන්න.

2. ඒ ක්ෂේත්‍රයට අදාළ වෙබ් අඩවි, බ්ලොග්ස් (Blogs) සහ ෆේස්බුක් පිටු (Facebook Pages) follow කරන්න.

ඔබ කැමති මොන ක්ෂේත්‍රයට වුණත් ඒ ක්ෂේත්‍රයට අදාළ වෙබ් අඩවි, බ්ලොග්ස් වගේම ෆේස්බුක් පිටුත් හමු වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ඔබට අවශ්‍ය තාක්ෂණික ක්ෂේත්‍රයේ නවතම පෙරළියන් ගැන පරිගණක ක්‍රීඩා ගැන දැනගන්න නම් Tech Insider වෙබ් අඩවියෙන් මෙන්ම ඔවුන්ගේ තිබෙන ෆේස් බුක් පිටුවට පිවිසීමෙන් දැනගන්න. ඒ වගේ ඔබට අවශ්‍ය ඕනෑම් ක්ෂේත්‍රයකට අදාළ හොඳ වෙබ් අඩවි, බ්ලොග්ස් සහ ෆේස්බුක් පිටු ගූගල් කිරීමෙන් ඔබට සොයාගන්න පුළුවන්. ඔබට රුචිකත්වයට ගැළපෙන ඒවා හමු වුණායින් පසු ඒවා follow කරන්න පටන් ගන්න.

මේවගේ site හොයා ගන්න හොඳම විදිහක් තමයි Google search කරන එක. ඔයා කැමති යතුරු පැදි වලටනන් “best blogs for motorbikes” Google වල හොයන්න.

3. තෝරාගත් ක්ෂේත්‍රයට අදාළ YouTube වීඩියෝ නරඹන්න

දැන් ඕනෑම ක්ෂේත්‍රයකට අදාළ දෙයක් දැනගන්න අපිට YouTube වීඩියෝ ඔස්සේ වුණත් පුළුවන්. අපි කළින් සඳහන් කරපු Tech Insider වෙබ් අඩවියටත් ඔවුන්ගේම YouTube චැනල් එකක් තිබෙනවා ඒ නමින්ම. ඒ වගේම අනෙකුත් වෙබ් අඩවි, බ්ලොග්ස් සහ ෆේස්බුක් පිටු වලටත් මෙලෙසින් YouTube චැනල් තිබෙනවා. විනාඩි  දෙක තුනක් වැනි ඉතා කෙටි YouTube වීඩියෝත් තිබෙන නිසා ඔබට මේ සඳහා වැඩි කාලයක් ගත වන්නේත් නැහැ. ඒ වගේම ඔබ සඟරාමය වැඩසටහන් (documentary) වලට කැමති නම් ලෝක ඉතිහාසය, ලෝකයේ විවිධ ස්ථාන, ඉවුම් පිහුම්, විලාසිතා, සෞන්දර්යාත්මක වැනි විවිධ මාතෘකා අළලා සැකසුණු වැඩසටහන් රාශියකුත් YouTube වල අඩංගු වනවා. මේවායින් ඉංග්‍රීසි විතරක් නෙමෙයි ඔයාගේ සාමාන්‍ය දැනුම පවා වර්ධනය කරගන්න පුළුවන්.  සමහර YouTube වීඩියෝ වලට ඉංග්‍රීසි උපසිරැසිත් තිබෙනවා. එවන් වීඩියෝ උපසිරැසි සමඟ නරඹනවා නම් ඔබට වඩාත් ඵලදායී වේවි. YouTube වීඩියෝ වල දකුණු පස පහළ තිබෙන settings ලකුණ click කළ විට එම වීඩියෝවට උපසිරැසි තිබේ නම් cc ලෙස දිස් වේවි. එවිට එය මත click කර උපසිරැසි සක්‍රීය කරගන්න. ඒ වගේම මේ YouTube චැනල් අතරින් ඔයා කැමති චැනල් වලට ඔයාට “subscribe” කරන්නත් පුළුවන්. එහෙම “subscribe” කරාම ඒ චැනල් එකෙන් අළුත් වීඩියෝ එකක් නිකුත් කරපු ගමන් ඔයාට “notification” එකක් මඟින් දැනගන්න ලැබෙන නිසා අළුත් වීඩියෝස් ඔයාට මඟ හැරෙන්නේ නැහැ.

4. ඉංග්‍රීසි පොත් සහ සඟරා නිරතුරුව කියවන්න

ගොඩක් දෙනෙක් කියවීම විනෝදාංශයක් කරගෙන තිබෙනවා. මේ විනෝදාංශය ඔයාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්නත් යොදාගන්න පුළුවන්. ඔයා නවකතා ආදී පොත් තෝරාගනිද්දී ඉංග්‍රීසි පොත් වැඩි වශයෙන් කියවන්න ගන්න උත්සාහ කරන්න. පොත කියවගෙන යද්දී ඔයා තේරුම දන්නේ නැති වචන තියෙනවා නම් පැන්සලෙන් ඒවා සටහන් කරගන්න. ඊළඟට ශබ්ද කෝෂයකින් (ඔයාගේ ස්මාර්ට් දුරකතනයේ ශබ්ද කෝෂ ඇප් එකක් තබාගන්න) හෝ ගූගල් ට්‍රාන්සලේට් මඟින් හෝ ඒවායේ තේරුම දැනගන්න. මෙහෙදී ඔබට ලැබෙන තවත් වාසියක් තමයි ඔබ නොදන්නා අළුත් වචන රාශියක් ඉගෙන ගන්න හැකි වීම. ඔයාට ඉංග්‍රීසි පොත් අන්තර්ජාලය හරහාත් කියවන්න හැකියි වගේම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඒ වගේම ඉංග්‍රීසි පුවත්පත් හා සඟරාත් කියවීමට හුරු වන්න. මේවායේ බොහෝ විට තිබෙන්නේ එදිනෙදා සිදුවන දේවල් ඒ වගේම ඒවා ලියා තිබෙන්නේ සරල ඉංග්‍රීසියෙන්. එම නිසා මේවා කියවීම තුළින් ඔබට පුළුවන් ඉංග්‍රීසි වාක්‍ය රටා ගැනත් දැනුමක් ලබන්න.

5. RSS Reader ඇප් එකක් ඔස්සේ ඔබ කැමති සියළුම වෙබ් අඩවි/බ්ලොග් ස්මාට් දුරකතනය ඔස්සේ දිනපතා කියවන්න.

ඔබ කැමති ක්ෂේත්‍රයට අදාළ වෙබ් අඩවි වගේම බ්ලොග්ස් කිහිපයක්ම තිබෙන්න පුළුවන්. දිනපතා මේවා එකින් එකට වෙනම ගොස් අළුත් පුවත්/තොරතුරු කියවීම ටිකක් කරදරකාරී කටයුත්තක්. ඒකට විසඳුමක් තමයි අපි මේ ඔබට කියන්න යන්නේ. ඔබේ ස්මාට් දුරකතනයට RSS Reader ඇප් එකක් දමාගත් ගත් විට ඔබ කැමති සියළුම වෙබ් අඩවි එකම තැනකින් කියවීමට පුළුවන්. හරියට ෆේස් බුක් News Feed එක වගේ. එයට කරන්න තිබෙන්නේ මෙච්චරයි. ඔබ පාවිච්චි කරන්නේ android දුරකතනයක් නම් Play Store එකෙනුත් apple දුරකතනයක් නම් app store එකෙනුත් RSS Reader ඇප් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. උදාහරණයක් ලෙස android සහ apple දුරකතන දෙකටම එන Inoreader RSS Reader ඇප් එක දක්වන්න පුළුවන්. ඔබට තිබෙන්නේ මෙම RSS Reader ඇප් එකක් ඔබේ ස්මාට් දුරකතනයේ install කරගෙන කැමති ක්ෂේත්‍රයක් තෝරාගෙන ඔබට නිරතුරුව අළුත් වන තොරතුරු (Updates) දැනගැනීමට අවශ්‍ය වෙබ් අඩවි හෝ බ්ලොග් එයට ඇතුළත් කිරීම පමණයි. එවිට ඔබට අවශ්‍ය ඕනෑම වේලාවක එම වෙබ් අඩවි වල අළුත් තොරතුරු එම ඇප් එකට පිවිසීම තුළින් ඔබට එකම තැනකින් එකම විට දැනගැනීමට පුළුවන් වනවා.

InoReader app එකෙන් Apple සමාගම ගැන තොරතුරු පළ කරන වෙබ් අඩවියකට සම්බන්ධ වී ඇති අයුරු

ඔබ මේ පියවර අනුගමනය කළොත් ඔබට ඉංග්‍රීසි ඉගෙන ගැනීම ඔබේ දින චර්යාවේ අංගයක් කරගැනීමට හැකි වනවා. ඔබ වඩාත් හොඳ අරමුණක් වෙනුවෙන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට උත්සාහ කරන නිසා ඔබත් නොදැනුවත්වම ඉංග්‍රීසි ඉගෙන ගැනීමට මෙම ක්‍රම අනුගමනය කිරීම තුළින් ඔබට හැකි වෙනවා. වඩාත් වැදගත් වන්නේ මෙහි අඩංගු පියවර ඔබ දිනපතා අනුගමනය කිරීමයි. ඒ තුළින් ඔබට වැඩි දවසක් නොගොස් ඉංග්‍රීසි දැනුම වර්ධනය කර ගැනීමට පුළුවන් වනවා. ඔබත් අදම මේ පියවර අනුගමනය කිරීමට පටන් ගන්න.

යාළුවන්ටත් දැනගන්න share කරන්න

Facebook Comments

0 Shares

Add comment