SayHello

කොච්චර පන්ති ගියත් ඉංග්‍රීසි කතා කරන්න බැරි ඇයි?

Shares 228

අද වෙනකොට හතු පිපෙනවා වගේ ඉංග්‍රීසි පන්ති  හැමතැනම දක්නට ලැබෙනවා. දිනෙන් දින එක එක අළුත් මුහුණුවරවල් වලින් මෙම පන්ති කරළියට පැමිණෙනවා. ඒත් මේ ඉංග්‍රීසි පන්ති වලට ගිහින් හොඳින් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වුණු කීදෙනෙක් ගැන ඔබ අහලා තියෙනවාද? එහෙම පුද්ගලයෙක් හොයාගන්න ටිකක් අමාරුයි නේද? විවිධ ආකාරයේ සිත් ඇදගන්නා සුළු වෙළඳ උපක්‍රම යොදාගනිමින් මේ පන්ති වලට සිසුන් ආකර්ෂණය කරගන්නා ඒවා පවත්වන පුද්ගලයින් සමත් වනවා. එහෙත් මේ පන්ති වල ඵලදායිතාවය ගැන ප්‍රශ්න මතු වනවා. මෙවන් පන්ති වලට ගියත් බොහෝ දෙනෙක්ට ඉංග්‍රීසි හොඳින් කතා කරන්න පුළුවන් වන්නේ නැහැ. ඔබත් මෙවන් පන්ති වලට සහභාගී වෙලා ඇති. කොච්චර පන්ති ගියත් ඉංග්‍රීසි හොඳින් කතා කරන්න බැරි වෙන්නේ ඇයි කියලා අපි ලංකාවේ සහ ලෝකය වටා හොයලා බැලුවා. එයට හේතු බොහොමයක් ලෝකයේ සිටින අධ්‍යාපනවේදීන් විසින් පෙන්වා දීලා තිබෙනවා. පන්ති ගිහින් ඉංග්‍රීසි කතා කරන්න උත්සාහ කරත් ඒක බැරි වෙන්නේ ඇයි කියලා අපි දැන් හොයලා බලමු.

පන්ති ගියාට ඉංග්‍රීසියෙන් කතා කිරීම ඔබේ දින චර්යාවේ අංගයක් නොවීම

 

බොහෝ වෙලාවට ඉංග්‍රීසි පන්ති තියෙන්නේ සතියට දිනක් හෝ දෙකක් වගේ. එහෙමත් නැත්තම් සතියක දෙකක ඉංග්‍රීසි කතා කිරීමේ කඳවුරු. ගොඩක් වෙලාවට ඔබ ඉංග්‍රීසියෙන් කතා කරන්නේ පන්තියේ කාල සීමාවේදී පමණයි. ඒ නිසා මේවාට සහභාගී වුණාට දිනපතා ඔබට ඉංග්‍රීසි කතා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. සරලවම කිව්වොත් ඉංග්‍රීසි කියන්නේ ඔබේ එදිනෙදා ජීවිතයට සමීප දෙයක්වත් ඉංග්‍රීසි කතා කිරීම ඔබේ දින චර්යාවේ අංගයක්වත් වන්නේ නැහැ. බොහෝ වෙලාවට පසුගිය පන්තියේ ඉගෙන ගනිපු දේවල් ඊළඟ පන්තියට යද්දී අමතක වෙන එකත් බොහෝ වෙලාවට සිදුවන දෙයක්.

මේකට කරන්න තියෙන්නේ ඔයාට පන්ති වේලාවෙන් පස්සෙත් තනියෙම ඉංග්‍රීසි ඉගෙන ගන්න එක. ඒවගේම හැමදාම තමන්ටම ඉංග්‍රීසි කතා කරන එක. මීට පෙර “SayHello” තුළින් පළවූ පහත සඳහන් ලිපි කියවීම තුළින් ඉංග්‍රීසි ඔබේ දින චර්යාවේ අංගයක් කර ගන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන්. :

“ඔබේ ඉංග්‍රීසි කතා කරන සිහිනය සැබෑ කරන සරල ක්‍රම 10ක්”

“ඉංග්‍රීසි ඉගෙන ගන්න හොඳම YouTube චැනල් 10ක්”

“ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔබේ සහයට එන මොබයිල් ඇප්” 

“චිත්‍රපට නරඹමින් ඉංග්‍රීසි ඉගෙන ගන්න සම්පූර්ණ මඟ පෙන්වීමක්” 

සිසුන් පිරිසක් සිටින නිසා ගුරුවරයාගෙන් ඔබට ලැබෙන අවධානය අඩු වීම

 

ඉංග්‍රීසි කතා කිරීමේ පන්ති වල සිසුන් කණ්ඩායම් වශයෙනුයි සිටින්නේ. මේ නිසා ගුරුවරයාට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ එක් එක් ශිෂ්‍යයා ගැන වෙනම වැඩි අවධානයක් යොමු කරන්න. එම නිසා ගුරුවරයාට හැකියාවක් නැහැ වෙන වෙනම ශිෂ්‍යයාගේ හැකියාවන් සහ දුර්වලතාවයන් හඳුනාගෙන ඒවාට එම ශිෂ්‍යයාට පුද්ගලිකව උපදෙස් දෙන්න. බොහෝ විට හැමෝටම පොදු උපදෙස් තමයි ඔවුන් ලබාදෙන්නේ. ඒ වගේම ඔබේ ඉංග්‍රීසි කතා කිරීමේ මට්ටම ගැනත් ගුරුවරයාට අදහසක් ලැබෙන්නේ නැහැ. එවිට ඔබේ අඩුපාඩු තිබෙනවා නම් ඒවා හදාගන්න වෙන්නෙත් නැහැ. එම නිසා මේ පන්ති වලින් ඔබේ ඉංග්‍රීසි කතාව වැඩි දියුණු කරගන්න වැඩි බලාපොරොත්තු තබාගන්න එපා. ඔබට මෙය මඟ හරවා ගන්න කරන්න තියෙන්නේ වැඩිය සිසුන් සහභාගී වෙන්නේ නැති ඉංග්‍රීසි පන්තියකට යන එකයි. හැබැයි එවන් පන්ති තෝරාගැනීමේදී ඒවා ගුණාත්මක පන්තිද යන බවත් ටිකක් හොයා බලන්න.

 

පන්තියේ දුර්වලම ළමයාගේ ඉගෙනීමේ වේගයෙන් පන්තිය ඉදිරියට යෑම

 

අපි දන්නවා ගුරුවරු හැමවිටම දුර්වල ළමයාටත් සාධාරණයක් ඉෂ්ට කරන්න බලනවා. ඒ නිසා මෙම ඉංග්‍රීසි පන්ති බොහෝ වෙලාවට ඉදිරියට යන්නේ දුර්වලම ළමයාගේ ඉගෙන ගැනීමේ වේගයෙන්. මෙම නිසා බලාපොරොත්තු වන විෂය නිර්දේශය නියමිත කාලය තුළත් අවසන් කරන්න බැරි වනවා. මේ තුළින් යම් මට්ටමකින් ඉංග්‍රීසි පුළුවන් ශිෂ්‍යයන්ට අසාධාරණයක් සිද්ධ වෙනවා. බොහෝ විට යම් මට්ටමකින් ඉංග්‍රීසි කතා කළ හැකි අයගේත් හැකියාව මේ තුළින් මොට වනවා. මොකද ඔවුන්ට ඔවුන්ගේ හැකියාවට ගැළපෙන ඊළඟ පාඩමට යොමු වීමට ගොඩක් කල් බලන් ඉන්නට සිදු වනවා වගේම එකම පාඩම, දැනටම ඔවුන් දන්නා දෙය නැවත නැවත අසන්නට සිදු වීම තුළින් ඉංග්‍රීසි කතාව ඉගැනීම නීරස වනවා.

මෙයට කරන්න තියෙන්නේ පන්තියේ ගුරුවරයා හමුවී ඔබේ අවශ්‍යතාවය පැහැදිලි කරන්න. එවිට ගුරුවරයා ඉහළ මට්ටමක පන්ති තිබෙනවා නම් ඔබව ඒවාට යොමු කිරීමට කටයුතු කරාවි නැත්තම් වේගයෙන් යන වෙනත් කණ්ඩායමකට ඔබව එකතු කර ගනීවි.

 

ගුරුවරයා ලබා දෙන පාඩම් මතම යැපීම

 

අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම කරේ ගුරුවරයා පාඩමක්/සටහනක් දෙනවා නම් එය මතම යැපෙන එක. අපි එය ප්‍රමාණවත් කියලා සිටියා. ඉන් ඔබ්බට දේවල් ඉගෙන ගත්තා නම් එය ඉතාම කලාතුරකින්. ඉතිං ඉංග්‍රීසි පන්ති වලදීත් සිද්ධ වෙන්නේ මේ දේම තමයි. ඔබ ගුරුවරයා දෙන පාඩම් තුළින් විතරක් හරි පන්තියේ සිදු කරන ක්‍රියාකාරම් වලින් පමණක් ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න උත්සාහ කිරීමයි මේවායේදී වන්නේ. එම පාඩම් වලින් ඔබ්බට ගිහින් ඔබ තනියෙම අළුත් ඉංග්‍රීසි කතාව වැඩි දියුණු කරගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ මොකද දෙයක් ඉබේටම ලැබෙන කොට මහන්සි වෙලා තවත් දෙයක් කරන්න අපි උත්සාහ නොකරන නිසා.

කොතරම් පන්ති ගියත් අනෙකුත් සම්පත් භාවිතයෙනුත් ඉංග්‍රීසි ඉගෙන ගන්න බලන්න. අන්තර්ජාලය සහ ජංගම දුරකථන භාවිතයෙන් අළුත් අළුත් ක්‍රම අත්හදා බලන්න. අපේ “SayHello” වෙබ් අඩවියේ/ FB පිටුවේ පළවෙන ලිපි කියවන්න. ඒ වගේම “SayHello” ඇප් එක නිරතුරුව භාවිතා කරන්න.

 

බොහෝ විට පන්තියට පැමිණෙන්නේ ඔබට සමාන හෝ ඔබට පහළ මට්ටමේ ඉංග්‍රීසි දැනුමක් ඇති අය වීම

 

අපි දන්නවා ඉංග්‍රීසි කතා කිරීමේ පන්ති වලට විවිධ මට්ටමේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ඇති අය පැමිණෙනවා. හොඳින් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම් පන්ති වලට එන්නේ නැහැ නේ ඔවුන්. ඒ නිසා බොහෝ විට මේ පන්ති වල‍ට එන්නේ ඔබ හා සමාන ඉංග්‍රීසි දැනුමක් ඇති අය හෝ ඔබට පහළ මට්ටමේ දැනුමක් ඇති අය. ඔබට ඉංග්‍රීසි කතාව වැඩි දියුණු කරගන්න ඕනේ නම් ඔබ කළ යුතුම දෙයක් තමයි ඔබට වඩා ඉහළ මට්ටමේ ඉංග්‍රීසි දැනුමක් ඇති අය සමඟ කතා කිරීම. මෙම පන්ති මඟින් ඔබට එවන් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ දැනුම වර්ධනය කර ගැනීමට රුකුලක් ලැබෙන්නේ නැහැ.

ඔබට වඩා හොඳින් ඉංග්‍රීසි පුළුවන් සිසුන් ඉන්න පන්තියකට එම නිසා යන්න බලන්න. හැබැයි ඒක ඔබට එම පන්තියට ගිහින්ම තමයි බලන්න වෙන්නේ. නැත්තම් ඔබේ ගුරුවරයා සමඟ සාකච්චා කරලා දක්ෂ සිසුන් සිටින පන්තියකට යන්න.

 

ඉංග්‍රීසි කතා කිරීමෙන්ම වර්ධනය කරගත යුතු දෙයක් මිස කට පාඩමින් හෝ පොතක් කියවීමෙන් ඉගෙන ගත නොහැකි වීම

 

ඔබ ඉංග්‍රීසි පන්තියකට සහභාගී වනවා නම් ඔබට එම පන්තිය තුළදී ඉංග්‍රීසියෙන් කතා කිරීමට කොතරම් අවස්ථාවක් ලැබෙනවාද? බොහෝ විට මෙම පන්ති වලදී ඔබට කතා කරන්නට ලැබෙන්නේ අඩුවෙන්. සිසුන් බොහෝ දෙනෙක් සිටින නිසා ඔබට කතා කරන්න සැළකිය යුතු වෙලාවක් ලැබෙන්නේ නැහැ. බොහෝ විට මෙම පන්ති වල කරන්නේ ගුරුවරයා කතා කරන එක. ඒ වගේම ඔවුන් විවිධ සටහන් කියවමින් සහ වචන සහ වාක්‍ය කටපාඩම් කරන්න ලබා දෙනවා. කට පාඩමින් මතක තබා ගන්න ඒවා මතකයේ රැඳී තිබෙන්නේ ටික කාලයයි. ඒ නිසා මෙය ඉංග්‍රීසි කතාව වර්ධනය කරගන්න හොඳ ක්‍රමයක් නෙමෙයි. භාෂා විශේෂඥයින් කියන්නේ ඉංග්‍රීසි කතාව ඉගෙන ගන්න නම් එය වැඩි වැඩියෙන් කතා කරන්න යොමු විය යුතු බවයි. ඔබ ඉංග්‍රීසියෙන් කතා කරන්න පුරුදු වන්න පුරුදු වන්න තමයි කතා කිරීමේ හැකියාව වැඩි දියුණු වන්නේ. නැතුව පොතක් බලාගෙන එය ඉගෙන ගැනීම සාර්ථක ක්‍රමයක් නෙමෙයි.

පන්ති වේලාවෙන් අනතුරුව ඔබට හැකි හැමවිටම ඉංග්‍රීසියෙන් කතා කරන්න බලන්න. ඉංග්‍රීසි පුළුවන් යාළුවෙක් ඉන්නවා නම් එයත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න. ගෙදර ඉන්නකොට කණ්නාඩිය ඉදිරියට ගිහින් තනියෙම පුරුදු වන්න. ඉංග්‍රීසි කතාවට උදව් වන මොබයිල් ඇප් භාවිතා කරන්න. “SayHello” ඔබට ඉදිරිපත් කළ “ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔබේ සහයට එන මොබයිල් ඇප්” යන ලිපිය තුළින් ඔබට මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. – 

පන්තියේ කාල සීමාව ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ප්‍රමාණවත් නොවීම

 

ඉංග්‍රීසි පන්තිය පැයක් තිබෙනවා නම් ඉන් කොපමණ වෙලාවක් ඔබ ඉංග්‍රීසියෙන් කතා කරනවාද? ඔබ වැඩි කාලයක් ඉංග්‍රීසි කතා කරනවා නම් තමයි ඒ පන්තිය ඵලදායී වන්නේ. මොකද අපි කලිනුත් කිව්වා වගේ ඔබ වැඩි වැඩියෙන් ඉංග්‍රීසි කතා කරන්න තමයි ඉංග්‍රීසි පුළුවන් වන්නේ. මෙම පන්ති වලට ළමුන් රැසක් සහභාගී වන නිසා එක් ළමයෙක්ට සාමාන්‍යයෙන් ලැබෙන කාලය ඉංග්‍රීසි ඉගෙන ගන්න ප්‍රමාණවත් නැහැ. අනිත් එක මෙම ඉංග්‍රීසි පන්ති ඉතා කෙටි කාලීන පාඨමාලාවන්. එම කාලය ඉංග්‍රීසි හොඳින් කතා කරන්න තරම් ඇත්තටම ප්‍රමාණවත් නැහැ. ළමුන් රැසක් සිටින නිසා එක ළමයෙක්ට අවධානය ලැබෙන කාලයත් මදි වනවා. එම නිසා මෙම පන්ති වලින් ඉංග්‍රීසි කතාව පුහුණු වීම ඵලදායක දෙයක් වන්නේ නැහැ.

පන්තියක් තෝරාගැනීමේදී එකේ කාල සීමාව ගැන සැළකිලිමත් වන්න. සතියකට කිහිප වරක් තිබෙන දිගු කාලීන පාඨමාලාවක් නම් වඩාත් හොඳයි. ඊට අමතරම පන්තියේ කාල සීමාවෙන් අනතුරුව ඔබ තනියෙම ඉංග්‍රීසි ඉගෙන ගන්නත් කාලය යොදවන්න.

මේ ප්‍රධාන හේතු වලට අමතරව පන්ති වලින් ඉංග්‍රීසි කතා කිරීම වර්ධනය නොවන්නට තවත් හේතු රැසක් තිබෙනවා.මෙම පන්ති පවත්වන සමහර පුද්ලයින්ගේ සුදුසුකම් පවා ප්‍රශ්නාර්ථයක්. ඒ නිසා ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න පන්ති යන්න කළින් අනිවාර්යයෙන්ම දෙපාරක් හිතන්න. මොකද ඵලදායී නැති ඉංග්‍රීසි කතා කිරීමේ පන්ති වලට සහභාගී වීමෙන් වන්නේ ඔබේ වටිනා මුදල් සහ කාලය නිකරුණේ නාස්ති වීම පමණයි.

නවීන තාක්ෂණයත් සමඟම අද වන විට නිවසේ සිට තනිවම නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් පන්ති වලට යනවාට වඩා ඵලදායී ක්‍රම රාශියක් තිබෙනවා. සම්ප්‍රදායික ක්‍රම වලින් ඔබ්බට ගිහින් මෙම අළුත් ක්‍රම භාවිතයෙන් ඔබට ඔබේ මුදල් සහ කාලය ඉතුරු කරගන්නවා වගේම වඩාත් හොඳින් ඉංග්‍රීසි කතාව වැඩි දියුණු කරගන්න හැකියාවත් ලැබෙනවා.

යාළුවන්ටත් දැනගන්න share කරන්න.

 

Shares 228

Facebook Comments

Add comment