SayHello

අපේ වචනමාලාව (vocabulary) වැඩි දියුණු කරගන්නේ කොහොම ද?

0 Shares

Summary

කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි අපි වචන සහ ඒවායේ භාවිතාව පිළිබඳ දැනුම වැඩි කරගන්නේ කියලා. ඇත්තටම ඒ හේතු කිහිපයක් නිසා. වැඩි වචන ප්‍රමාණයක් දැන සිටීම, අපිට වඩාත් පැහැදිලිව සහ සංක්ෂිප්තව පුද්ගලයන් සමඟ සන්නිවේදනය කරන්න අවශ්‍ය හැකියාව ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ අයට ඔබව වඩාත් පහසුවෙන් තේරුම් ගන්නත්, ඔබ පිළිබඳව ඔවුන් තුළ ඇති ප්‍රතිරූපය ඉහළ නංවන්නත්, වචන පිළිබඳව ඇති දැනුම උදව් වෙනවා.

Content

මොකක් ද මේ vocabulary, එහෙමත් නැත්නම් වචනමාලාව කියලා කියන්නේ?

සරලව vocabulary කියලා කියන්නේ, යම් කිසි භාෂාවක ඇති වචනවල එකතුවකට හෝ ලැයිස්තුවකට.

එදිනෙදා ජීවිතයේ දී අපිට ඇහෙන, අපි කියවලා එකතු කරගන්න, කතා කරලා එකතු කරගන්න වචන මේ විදියට එකතුවක් විදියට අපිටම හදාගන්න පුළුවන්.

ඉතින් කොහොම ද අපි වචනමාලාව (vocabulary) වැඩි දියුණු කරගන්නේ?

ඒ වැඩේ නම් කියන තරම් අමාරු නැහැ. දවසට පොඩි වෙලාවක් වෙන්කරලා, වැඩක් කරන ගමන් උනත් මේ වැඩ ටික ඔබට කරන්න පුළුවන්. අපි බලමු මොනවා ද ඒ වැඩ කියලා.

01. කියවන්න, කියවන්න, ආයෙත් කියවන්න.

වැඩි වැඩියෙන් කියවන්න, කියවන්න, නොදැනීම හිතා ගන්නවත් බැරි වචන ප්‍රමාණයකට අපිව නිරාවරණය වෙන්න පටන්ගන්නවා. නවකතා, සාහිත්‍ය කෘති, සඟරා, පුවත්පත් ආදිය, මේ වැඩේට අපිට උදව්වට ගන්න පුළුවන්. අලුතෙන් හොයාගන්න වචනවල තේරුම ශබ්දකෝෂයක් යොදාගෙන හොයාගන්නවා වගේම, ඒ වචන වලින් ඒ ඒ වාක්‍ය නිර්මාණය වෙලා තියෙන විදිය ගැනත් සටහන් කරගන්න අමතක කරන්න එපා.

02. ශබ්දකෝෂයක් සහ එක සමාන වවචන තියෙන නිබන්ධනයක් (thesaurus) ළඟ තබා ගන්න.

දැන් ඉතින් ස්මාර්ට් ජංගම දුරකථන තියෙන නිසා, ලොකු ශබ්දකෝෂ හැම තැනම උස්සගෙන යන්න ඕනේ නැහැ. ඒ වුණත්, අපිට පහසු විදියට මුද්‍රණය කරපු ශබ්දකෝෂයක්, මෘදුකාංගයක් හෝ අන්තර්ජාලය මේ වැඩේට භාවිතා කරන්න පුළුවන්. අපි හොයාගන්නා අලුත් වචනවල තේරුම වගේම, ඒ ඒ වචන ශබ්ද කරන විදියත් හරි ආකාරව අපිට ශබ්දකෝෂයක් උදව්වෙන් බලාගන්න පුළුවන්. Thesaurus එක අපි හොයාගන්න වචන වලට සමාන වචන, විරුද්ධ වචන වගේම ඒවා යොදාගෙන ඇති වාක්‍ය ඛණ්ඩ පිළිබඳවත් හොඳ දැනුමක් ලබා දෙනවා.

03. ජර්නලයක් (journal) භාවිතා කරන්න.

දවස ගානේ හොයාගන්න වචන, ඒවායේ තේරුම, ශබ්ද කරන ආකාරය වගේම, ඒ ඒ වචන යොදාගෙන ඇති වාක්‍ය ඛණ්ඩත් අපිට ජර්නලයක සටහන් කරලා තියාගන්න පුළුවන්. මේ වැඩේට අපේ ස්මාර්ට් ජංගම දුරකථනය වුණත් භාවිතා කරන්න බැරි කමක් නැහැ. යන ඕනෑම තැනක අරගෙන යන්නත්, හරිම පහසුවෙන් ඕනෑම වෙලාවක බලන්නත්, ඒ වගේම අපේ වචන දැනුම මට්ටම ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නත් ජර්නලයක් භාවිතා කිරීම ප්‍රයෝජනවත් වෙනවා.

04. ක්‍රීඩා කරන්න.

අලුත් වචන පිළිබඳ දැනුම වැඩි කරගන්න ඒ වෙනුවෙන්ම නිර්මාණය වුණු ක්‍රීඩා ඕනෑ තරම් අපිට හොයාගන්න පුළුවන්. ප්‍රෙහේළිකා වගේම පරිගණක සහ ජංගම දුරකථන සඳහා ද මේ ක්‍රීඩා දැන් නිර්මාණය කරලා තියෙනවා. Word games කියලා අන්තර්ජාලයේ පොඩ්ඩක් හොයලා බැලුවොත් හරිම ලේසියෙන් අපිට අපේ වචන දැනුම වැඩි කරගන්න උදව් වෙන ක්‍රීඩා හොයාගන්න බැරි වෙන්නේ නැහැ.

05. අන් අය සමඟ කතා කරන්න. / හොඳින් ඇහුම්කන් දෙන්න.

අන් අය සමඟ සංවාදයේ යෙදීමෙන් වඩාත් හොඳින් අලුත් වචන අපිට හොයාගන්න පුළුවන්. ඒ වගේම ඒ අය, ඒ වචන භාවිතා කළ අවස්ථාව පිළිබඳවත් අවබෝධයක් අපිට ලැබෙනවා. තවත් කරන්න ඕනේ වැඩක් තමයි, හොඳින් ඇහුම්කන් දෙන එක. ඉංග්‍රීසි වැඩසටහන්, චිත්‍රපට, වාර්තා වැඩසටහන් වගේම ප්‍රවෘත්ති හරහාත් මේ විදියට අපිට අලුත් වචන එකතු කරගන්න එක හරිම පහසුවෙන් කරගන්න පුළුවන්. කලින් කිව්වා වගේ, හොයාගන්න වචන ඒවායේ තේරුම එක්ක සටහන් කරගන්න අමතක කරන්න එපා.

මේ පියවර පහ අනුගමනය කළොත්, අඩු කාලයකින්, හරිම පහසුවෙන් අපිට අපේ වචනමාලාව (vocabulary) වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම, හොයාගන්න අලුත් වචනයක් දවසට ලියන්න, කියන්න යොදාගන්න උත්සාහ කරන්න. අලුත් තාක්ෂණය යොදාගෙන මේ වැඩ පහසු කරගන්නත් අමතක කරන්න එපා.

0 Shares

Facebook Comments

Add comment