SayHello

ඉංග්‍රීසි නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්ද?

0 Shares

Summary

ගෝලීයකරණය නිසා මුළු ලෝකයම එක ගම්මානයක් බවට පත් වෙලා. ජීවිත දියුණු කරගන්න යන මේ ගමනේ, සන්නිවේදනය කියන්නේ අපිට අත්‍යාවශ්‍යම කාරණාවක්. ඒ සඳහා පොදු භාෂාවක් තියෙනවා නම්? ඔව්, ඉන් වඩාත් සාර්ථක ප්‍රතිඵල හරිම පහසුවෙන් අපිට ලබා ගන්න පුළුවන් වේවි.

Content

මේ ප්‍රශ්නෙ ඇහුවම සමහර අයට හිතෙන්න පුළුවන්, අපෝ ඕක මොකද් ද ඉංග්‍රීසි නැති උනා කියලා ජීවත් වෙන්න බැරි කමක් නෑ කියලා. ඇත්තම කිව්වොත්, අද තියෙන විශ්වීය සමාජ රටාවත් එක්ක ඉංග්‍රීසි කියලා කියන්නේ වඩාත් සාර්ථක ජීවිතයකට යන්න හමුවෙන පළවෙනි ඉණිමග.

හිතන්න, ඔබ රැකියාව කරන තැන ප්‍රධානියා දමිළ කෙනෙක්. ඔහුට හෝ ඇයට සිංහල බැහැ. හැබැයි ඉංග්‍රීසි පුළුවන්. අනික් අතින් ගත්තම ඔබට දමිළ බැහැ. ඔබට අවශ්‍ය වෙනවා ඔබේ අතිශය පෞද්ගලික ගැටළුවකට ප්‍රධානියාගෙන් උදවුවක් ගන්න. දැන් මොකද කරන්නේ? ඔබට ඉංග්‍රීසි  පුළුවන්කම තිබෙනවා නම්, කිසිම ගැටළුවක් වෙන්නෙ නැහැ. ප්‍රධානියා සමඟ පොදු ඉංග්‍රීසි භාෂාවෙන් සංනිවේදනය කරලා ඔබේ ගැටළුවට නියම විසඳුමක් ලබාගන්න හැකියාව ලැබෙනවා.

එහෙම නොවුණා නම්, ඔබට ඔබේ ආයතනයේ ප්‍රධානියා එක්ක තනියම කතා කරන්න විදියක් නැතුව යනවා. ඔබට සිද්ධ වෙනවා සහායට වෙනත් කෙනෙක් ඔබේ අතර මැදියා කරගන්න. මෙතැනදි ඔබේ අතිශය පුද්ගලික ගැටළුව තුන්වැනි පාර්ශවයකට හෙළි කරන්න සිද්ධ වෙනවා විතරක් නොවෙයි, ඔහුගේ හෝ ඇයගේ උවමනාවට මේ කාරණයේ දී ලැබිය යුතු ධනාත්මක පිළිතුරක් උනත් සෘණාත්මකව ලැබෙන්න පුළුවන්.

ගෝලීයකරණය නිසා මුළු ලෝකයම අද එකම ගම්මානයක් වෙලා. මේ ගම්මානයේ ඉන්න මිනිස්සු එකිනෙකා හා සම්බන්ධ කරන පොදු සන්නිවේදන මාධ්‍ය තමයි ඉංග්‍රීසි භාෂාව. නව ප්‍රවණතා, තාක්‍ෂණය, දැනුම ආදී සියළු දෑ මේ ගම්මානේ පුරාවට විහිදිලා තියෙනවා. ඒ නිසා, ඕනෑම කෙනෙක්ට, ඕනෑම වෙලාවක, ඕනෑම දෙයක් ගැන, ඕනෑ තරම් දැනගන්න, ඒ ඔස්සේ තමන්ගේ අපේක්ෂාවන් ඉටු කරගන්න ඉඩ ලැබෙනවා.

හැබැයි, අවස්ථා ඕනෑ තරම් තිබුණට රිසි සේ හැම කෙනාටම ඒ අවස්ථා ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ හැම අවස්ථාවක්ම ලබා ගන්න නම්, ඔය හැම දොරක්ම ඇරෙන පොදු යතුරක් ඔබ ගාව තිබිය යුතු වෙනවා. ඒ යතුර තමයි ඉංග්‍රීසි භාෂාව කියලා කියන්නේ.

දැන් තේරෙනවා නේද ජීවත් වෙන්න ඉංග්‍රීසි ඕනෑ නෑ කියලා හිතුවාට, ඉංග්‍රීසි වලට ඔබේ ජීවිතයම උඩු යටිකුරු කරන්න පුළුවන් කියලා?

ඉංග්‍රීසි භාෂාව ඔබට පුළුවන් නම්, ඔබ සතුටු වෙන්න. ඔබ වාසනාවන්තයි. ඔබට ඉංග්‍රීසි භාෂාව බැරි නම්,  අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න. ඒ සඳහා ඔබට උදව් වෙන පහසු ක්‍රම ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයෙන්ම හොයාගන්න බැරි වෙන එකක් නැහැ. ඔබට පුළුවන් වාසනාව කැන්දාගෙන එන්න. මේ තරම් කාලයකට අපැහැදිලි වෙලා තිබුණ ජීවිතේ තේරුණේ නැති තැන්, ඔබට තේරුම්ගන්න පුළුවන් වේවි.

References:

https://www.investopedia.com/terms/g/globalization.asp

Facebook Comments

0 Shares

Add comment