SayHello

a/an සහ the නිවැරදිව භාවිතා කරන්නේ කෙසේද?

0 Shares

ඉංග්‍රීසි භාෂාව ලියන්න යද්දිත් කතා කරන්න යද්දිත් අපිට බොහෝ වෙලාවට මතුවන ගැටළුවක් තමයි අපි වචනයක් ඉස්සරහින් “a/an” (අ/ඇන්) කියලද භාවිතා කරන්න ඕනේ නැත්තම් “the” (ද) කියලාද කියන එක. මේක ඔබට විතරක් නෙමෙයි ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න උත්සාහ කරන හැමෝටම වගේ තිබෙන ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේ ලිපියෙන් අපි ඔබට උදාහරණ සහිතව කියලා දෙන්න යන්නේ අවස්ථාවට අනුව ‘a/an’ සහ ‘the’ නිවැරදිව භාවිතා කරන ආකාරයයි.

a/ an සහ ‘the’ ඉංග්‍රීසියෙන් articles (ආටිකල්ස්) කියලා හඳුන්වනවා. හරියට නාම විශේෂණ වගේම මේවත්, නාම පදයක් ගැන විස්තර කිරීමේදී ඒවාට කලින් තමයි භාවිතා කරන්නේ. ඒකෙන් නාම පදයේ පොඩි වෙනස්කමක් වෙලා ඉංග්‍රීසි භාෂවට අමුතු ලස්සනක් එනවා.

අපි ‘the’ භාවිතා කරන්නේ විශේෂිත නාම පදයක්/ නාම පද හැඳින්වීමේදියි. ‘a/ an’ කියන විශේෂණ පද පාවිච්චි කරන්නේ විශේෂිත නොවන නාම පදයක් හැඳින්වීමේදියි. ඒ නිසාම, ‘the’ definite article (ඩෙෆිනිට් ආටිකල් – නියත විශේෂණ පදයක්) ලෙසත්, ‘a/ an’ (Indefinite Articles) (ඉන්ඩෙෆිනිට් ආර්ටිකල්ස් – අනියත විශේෂණ පද) ලෙසත් හඳුන්වනවා.

අපි උදාහරණයක් අරන් බලමු,

Let’s read the book

(ලේට්ස් රීඩ් ද බුක්)

අපි පොත කියවමු
මෙතන දී කියවන්න ඕනෙ කියලා අදහස් කරන්නේ විශේෂිත පොතක් ගැන.

ඒ වුනාට මෙහෙම කිවුවොත් බලන්නකො වෙන දේ,

Let’s read a book

(ලේට්ස් රීඩ් අ බුක් )

අපි පොතක් කියවමු
මෙතන දී කියවන්න ඕනෙ කියලා අදහස් කරන්නේ ඕනෑම පොතක්. එතකොට ඒක මේ ලෝකේ තියෙන ඕනෑම පොතක් වෙන්න පුළුවන්.

තව විදියක් බලමු,

I would like to see the most popular movie of the year

(අයි වුඩ් ලයික් ටු සී ද මොස්ට් පොපියුලර් මූවී ඔෆ් ද ඉයර්)
මට වසරේ වඩාත්ම ජනප්‍රිය චිත්‍රපටය බලන්න ආසයි

අවුරුද්ද්කට ඕනෑ තරම් චිත්‍රපට එනවා. ඒ වුනාට මට බලන්න ඕනෙ අවුරුද්දේ වැඩියෙන්ම ජනප්‍රිය වෙච්ච එක. ඒක විශේෂ කලේ ‘the’ කියන වචනය භාවිතා කරලා.

නැත්නම් මට මෙහෙම කියන්න තිබුනනේ,

I would like to see a movie.

(අයි වුඩ් ලයික් ටු සී අ මූවී)
මම චිත්‍රපටයක් බලන්න ආසයි.

එතකොට මම කියලා තියෙන්නේ මට චිත්‍රපටයක් බලන්න ආසයි කියලා. විශේෂිත චිත්‍රපටයක් ගැන කියලා නැහැ. එතකොට වෙන්නෙ මම කියපු දෙය අහගෙන හිටපු කෙනා බලන්න එක්කන් යන ඕනෑම චිත්‍රපටයක් බලලා එන්න තමයි.

‘a’ (අ) සහ ‘an’ (ඇන්) භාවිතය

එක තැනක දී ‘a’ විශේෂණ පදය භාවිතා කරන්නත් , තව තැනක දී ‘an’ විශේෂණ පදය භාවිතා කරන්නත් හේතුව මොකක් ද කියන එක බලමු. සිංහල හෝඩියේ වගේම ඉංග්‍රීසි හෝඩියෙත් තියෙනවා, ස්වර (vowels). ඒවා තමයි, a, e, i , o , u කියන අකුරු.

මේ ස්වර අක්ෂර කියවන විට ඇති වන ශබ්දයෙන් පටන් ගන්නා වචන ඉස්සරහින් අපි “an” කියලා භාවිතා කරනවා. ස්වර අක්ෂර වලින් හැදෙන ශබ්ද වල  උදාහරණ ටිකක් බලමු . එතකොට ඔයාට පැහැදිලි වෙයි අපි කියන දෙය.

අ – ice cream (අයිස් ක්‍රීම්), oven (අවන්), umbrella (අම්බ්රෙල්ලා), unforgettable (අන්ෆොගෙටබල්), hour (අව)

ඇ – apple (ඇප්ල්), accident (ඇක්සිඩන්ට්)

ඈ – angle (ඈන්ග්ල්), ant (ඈන්ට්)

ඊ – aesthetic (ඊස්තටික්), eagle (ඊග්ල්)

ඉ – interactive (ඉන්ටරැක්ටිව්), english (ඉන්ග්ලිෂ්)

එ – elephant (එලෙෆන්ට්), aeroplane (එරෝප්ලේන්)

ඔ – entrepreneur (ඔන්ට්‍රප්‍රනුඅර්), octopus (ඔක්ටපස්)

ඕ – ornaments (ඕනමන්ට්ස්), audio (ඕඩිඕ)

ඒ – angel (ඒන්ජ්ල්), ancient (ඒන්ෂන්ට්)

ආ – artist (ආටිස්ට්), arm (ආම්)

ඌ – ooze (ඌස්)

Unforgettable කියද්දී පටන් ගන්නේ “අ” ශබ්දය නිසා අපි an ඉදිරියට යෙදිය යුතුයි. University කියද්දී  පටන් ගන්නේ ස්වර අක්ෂර ශබ්දයක් නොවන “යු” ශබ්දයෙන් නිසා “a” භාවිතා කර යුතුයි.

O භාවිතා වන වචන වලදීත් මේ දේම සිදු වෙනවා.

Octopus – ඔක්ටපස්

One time offer – වන් ටයිම් ඔෆ

Octopus කියද්දී වචනය පටන් ගන්නේ “ඔ” ශබ්දයෙන් නිසා අපි “an” ඉදිරියට යෙදිය යුතුයි.  නමුත් one time offer කියද්දී “ව” ශබ්දයෙන් පටන් ගන්නා නිසා “a” භාවිතා කරනවා

H භාවිතා වන වචන වලදීත් මේ දේම සිදු වෙනවා.

Horse – හෝර්ස්

Hour – වර්

A horse කියලා අපි භාවිතා කරාට hour කියලා කියද්දී අපි කියන්නේ an hour කියලා  

‘the’ (ද) යොදාගන්නේ මොන වගේ අවස්ථා වලටද කියල බලමු

The කියන්නේ definite article එකක්. ඒ නියත විශේෂණ පදයක්

දැන් හිතන්න අපිට විස්තර කරන්න ඕනෙ නියත නාම පදයක් ගැන, විශේෂ වස්තුවක් ගැන කියලා. අන්න එතකොට ඒ නාම පදය ඉස්සරහට the පදය යොදන්නේ. මෙතන විශේෂත්වය තමා, the පදය ඒක වචන නාම පද, බහු වචන නාම පද දෙවර්ගයටම යොදන්න පුලුවන් වීම.

The පදයෙන් අපිට සංඥාවක් දෙනවා, මේ කතා කරන්න යන්නේ විශේෂ නාමයක් ගැන කියලා.

I am happy to see the policeman who saved my cat

මගේ පූසාව බේරාගත් පොලිස් නිලධාරියා දැකීම මට සතුටක්

මෙතනදි මම කතා කරන්නෙ එක් විශේෂ පොලිස් මහතෙක් ගැන, පොලීසියේ හැමකෙනා ගැනම නෙමෙයි. මං කතා කරන්නේ මගේ පූසාව බේරගත්ත පොලිස් මහත්මයා ගැන කියලා හැමෝටම තේරෙන්නේ the විශේෂණ පදය භාවිතා කළ නිසා.

He spilled the milk all over the floor

ඔහු බිම පුරා කිරි හැලුවා

The විශේෂණ පදය භාවිතා කරනවා, ගණන් කළ නොහැකි දෙයක් ගැන කතා කරද්දී. මෙතනදී කිරි ගනන් කළ නොහැකි දෙයක්. ඒ වගේම විස්තර කරන්නේ ඒ පුද්ගලයා ළඟ තිබුණ/ හලපු කිරි එක ගැන.

තව, ලෝකෙටම එකක් වන වස්තූන් හඳුන්වද්දී the විශේෂණ පදය භාවිතා කරනවා.

The Sun
The Moon

ඒ වුනාට සමහර රටවල්, නගර, වීදි, වැව් හඳුන්වද්දී the විශේෂණ පදය භාවිතා කරන්නේ නැහැ.

උදාහරණයක් ලෙස:

The United States (දි යුනයිටඩ් ස්ටටේස් – එක්සත් ජනපදය) කිවුවොත් හරි වුණාට, The Italy (ද ඉටැලි – ඉතාලිය) කිවුවොත් වැරදී.

ඒ වගේ අවස්ථා ගැන හොයලා බලලා දැන තියාගන්න ඕනේ. ඒවා සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාවිතයේදී හුරු වෙනවා.

අර කලින් කිව්වා ස්වර අක්ෂර ශබ්ද වලින් පටන් ගන්න වචනයකට අපි The දැම්මොත් කතා කරද්දී උච්චාරණය කරන්නේ  “දි” කියල.

මේ ලිපියෙන් ඔබට “a/an” සහ “the” භාවිතා කරන ආකාරය ගැන මූලික දැනුමක් ලැබෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඔයාට ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු දේවල් කියවීම සහ චිත්‍රපට/වීඩියෝ බැලීමේදී ඒවායේ දෙබස් වලට අවධානය දැක්වීම තුළිනුත් මේ පිළිබඳ දැනුම තවත් වර්ධනය කරගන්න පුළුවන්. ඔයා වැඩි වශයෙන් ඉංග්‍රීසි භාවිතා කරන්න ගත්තාම ඔයාට ඉබේටම වගේ “a/an” සහ “the” නිවැරදිව භාවිතා කරන ආකාරයත් හුරු වේවි.

Images extracted from Pexels.com

Facebook Comments

0 Shares

2 comments